ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

තෙවැනි ධුර කාලය: 'ජනතා අධිකරණයට යනවා'

තුන්වෙනි වතාවටත් ජනපති ධුරය සඳහා තරඟ කළ හැකිදැයි ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම මෙන්ම ඒ ඉල්ලීම ඉටු කිරීමට අධිකරණය එකඟවීමේ සමස්ත ක්‍රියාවලිය රටේ නීතිය සහ අධිකරණ සම්ප්‍රදායය අභිබවා යන්නක් බව හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා ප්‍රකාශ කරයි.

එපමණක් නොව එය සමස්ත අධිකරණ ක්‍රියාදාමය හාස්‍යයට ලක් කරන්නක් බව ඔහු සඳහන් කළේ ජනාධිපති මහින්ද රාජපක්ෂට යළිත් වතාවක් තරඟ කළ හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය පළ කොට තිබෙන මතය පිළිබඳව බීබීසී සංදේශය විමසීමක් කළ අවස්ථාවේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය දැනුම් දෙමින් සභානායක නිමල් සිරිපාල ද සිල්වා පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේ, යළිත් වරක් තරඟ කිරීමට ජනාධිපතිවරයාට කිසිදු නීත්‍යානුකූල බාධාවක් නොමැති බවයි.

දෙවැනි වර තේරී පත් වී වසර හතරක් ජනාධිපති ධුරය දැරීමෙන් අනතුරුව ජනාධිපති මැතිවරණයක් කැඳවීමට ජනාධිපතිවරයාට බලය තිබෙන බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වී තිබේ.

'අවකාශය අවහිර වෙලා'

"මම හිතන්නේ මේක තමයි පළවෙනි වතාව, ශ්‍රී ලංකා නීති ඉතිහාසයේ ශ්‍රේෂ්ඨාධිකරණයක තීන්දුවක් ප්‍රකාශයට පත් කරනු ලබන්නේ පාර්ලිමේන්තුවේ,"යනුවෙන්ද ඔහු කියා සිටියේය.

Image copyright AFP Getty Images
Image caption ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබුවේ සභානායක නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා විසින්

ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය "කිසිසේත්ම තීන්දුවක් නොවන" නමුත් ඒ සමඟම අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීමේ අවස්ථාව ඇහිරී තිබෙන බව පිළිගන්නා හිටපු අගවිනිසුරු සරත් ද සිල්වා එයට එරෙහිව ජනතා අධිකරණය ඉදිරියට යන බව සංදේශයට පැවසීය.

"ශ්‍රේෂ්ඨාධිකරණයේ දැන් ඉන්නේ විනිශ්චයකාරයො දහ දෙනයි. දැන් විනිශ්චයකාරයො දහ දෙනාම යම්කිසි මතයක් ප්‍රකාශ කරලා තියෙනව. එතකොට කිසියම් පුරවැසියෙකුට අධිකරණය හමුවට යාමේ අවකාශය අවහිර වෙලා තියෙනවනේ?" යනුවෙන් ඔහු ප්‍රශ්න කළේ මීළඟට ගන්නා ක්‍රියාමාර්ගය කවරක් දැයි සංදේශයේ සරෝජ් පතිරණ විමසීමක් කළ අවස්ථාවේ.

එබැවින් මේ අවනඩුව ඉදිරි ජනාධිපතිවරණයේදී ජනතාව ඉදිරියට ගෙනයාම ශ්‍රේෂ්ඨාධිකරණයේ මතයට විරෝධය පළකරන තමන් ඇතුළු කණ්ඩායම් ඉදිරියේ තිබෙන එකම විකල්පය බවද සරත් නන්ද සිල්වා හිටපු අග්‍රවිනිශ්චයකාරවරයා සඳහන් කළේය.

"මොකද ජනතාව තමා ස්වෛරී බලය තිබෙන්නේ මේ රටේ, ජනතාවට තමා අධිකරණ බලයත් තියෙන්නේ. ඉතින් අධිකරණ බලය ක්‍රියාත්මක කරන ආයතන සම්බන්ධයෙන් විශ්ව්වසයක් නැත්නම් අපිට මේ ප්‍රශ්නය ඉදිරිපත් කරන්න තියෙන්නේ ජනතාවට."

මෙවැනි ගැටලුවක් ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ ඉදිරිපත් කිරීම පිළිබඳව තමන්ට විශ්වාසයක් නොමැති බවත් හිටපු අගවිනිසුරුවරයා පැවසීය.