ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සමහර ජාතික බලවේග ‘පාවාදීමක’

'රට ආපස්සට අදින පරගැති මෙහෙයුම් පරදවමු' මැයෙන් ජාතික සංවිධාන එකමුතුව සංවිධාන කළ මහජන රැළිය බදාදා සවස සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වුනේ අමාත්‍ය විමල් වීරවංශගේ ප්‍රධානත්වයෙන්.

බොදු බල සේනා සංවිධානයේ නායක කිරම විමලජෝති හිමියන්, දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ ගුණදාස අමරසේකර ඇතුළු පිරිසක්ද රැලියට එක් වී සිටියහ.

එදා සරත් ෆොන්සේකා යොදාගෙන ඉටු කර ගැනීමට නොහැකි වූ අරමුණ අද ජාතික බලවේග ඔස්සේ ලබා ගැනීමට විජාතික බලවේග උත්සහ කරන බව, රැළිය අමතමින් අමාත්‍ය විමල් විරවංශ කියා සිටියේය.

රට බෙදන 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ නොවන මෙම බලවේගවලට 18 වැනි සංශෝධනය ප්‍රශ්නයක් වී ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

සභාව ඇමතූ බෞද්ධ පුනර්ජීව සංස්කෘතික කමිටුවේ මැදගම ධම්මානන්ද හිමියෝ, මේ අතර අතුරලියේ රතන හිමියන් මෙන්ම හිටපු ජනාධිපතිනි චන්ද්‍රික කුමාරතුංගද දැඩි විවේචනයට ලක් කළේය.

සින්ගප්පූරුවේ ලී ක්වාන් යී ට මෙන් ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂටත් අඛණ්ඩව බලය ලබා දිය යුතු බව රැළිය අමතමින් බොදු බල සේනා සංවිධානයේ කිරම විමලජෝති හිමියෝ පැවසූහ.