ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ජවිපෙ ඉල් මහ විරුවන් සමරයි

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර ඝාතනයට අදට (නොවැම්බර් 13) වසර විසි පහක් සම්පූර්ණ වෙයි.

ගොඩ උඩ විද්‍යාලයෙන් සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලද රෝහණ විජේවීර මොස්කව් රාජ්‍ය මිත්‍රත්ව සරසවියේ අධ්‍යාපනය ලබන අතරයි එය අත්හැර දමා විප්ලවකාරී මාවත තෝරා ගනිමින් ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කරන්නේ.

කලින් එන්. ශන්මුගදාසන් ගේ ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයකු වූ රෝහණ විජේවීර කණ්ඩායමක් ද සමඟ ඉන් ඉවත් වෙමිනුයි, 1960 දශකයේ අග භාගයේ දී ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කළේ.

1971 අප්‍රියෙල් මාසයේ පස් වෙනිදා රෝහණ විජේවීරගේ නායකත්වයෙන් ජනතා විමුක්ති පෙරමුණ පළමු රාජ්‍ය විරෝධී කැරැල්ල දියත් කළ අතර එය අසාර්ථකත්වයෙන් කෙළවර වූයේ විශාල ජීවිත විනාශයක් ද සමඟයි.

Image copyright jvpsrilanka.com

1983 කළු ජූලියත් සමඟ ආණ්ඩුවේ මර්දනයෙන් බේරීමට සිය සගයන් කීප දෙනකු ද සමඟ යටි බිම් ගත වූ රෝහණ විජේවීර යුද හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබ රහසිගතව මරා දමන ලද්දේ 1989 නෙවැම්බර් මාසයේ 13 වෙනි දිනයි.

හිංසාවේ විකෘති චක්‍රය

1988-89 භීෂණ අවධියේ උත්සන්න කළ ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි කැරැල්ල නිම වුනේ රෝහණ විජේවීර ඝාතනයත් සමඟයි.

එම 1971 පළමු කැරැල්ලේ ප්‍රමුඛයකු වූ වික්ටර් අයිවන් බීබීසී සංදේශය වෙනුවෙන් එල්මෝ ප්‍රනාන්දු සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී කියා සිටියේ, හිංසාවේ විකෘති චක්‍රයෙන් මිදී රට ප්‍රකෘති තත්වයකට ගෙන ඒමේ ප්‍රතිසංස්කරණ සිදු කිරීමට සමාජය තවමත් අසමත් වී ඇති බවයි.

හමුදා අත්අඩංගුවේ දී මරා දැමුණ සිය පක්ෂ නිර්මාතෘවරයා අනුස්මරණය කිරීමට ජනතා විමුක්ති පෙරමුණ ජාතික සහ ජාත්‍යන්තර මට්ටමින් සමරු වැඩ සටහන් සංවිධානය කර ඇත.