ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ජනපතිට එරෙහි 'ගෝල්ඩන් කී' පෙත්සම විභාගයට

ගෝල්ඩන් කී මුදල් අහිමි වූ තැන්පත්කරුවන්ගේ සංගමය විසින් ජනාධිපතිවරයා වග උත්තරකරු කරමින් ඉදිරිපත් කරන ලද පෙත්සම ඉවත දමන මෙන් ඉදිරිපත් වූ විරෝධතා ප්‍රතික්ෂේප කළ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ පෙත්සම දිගටම විභාග කිරීමට අද, බ්‍රහස්පතින්දා අවසරදුන්නේය.

එම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙන්නේ, ගෝල්ඩන් කී මුදල් අහිමි වූ තැන්පත්කරුවන්ගේ සංගමය විසිනි.

ජනාධිපතිවරයාට එරෙහිව නඩුවක් පවත්වා ගෙන යාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වන වගන්තිය උල්ලංඝනය කිරීමක් වන බැවින් අදාළ පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන ලෙසයි වග උත්තර කරුවන් ඉල්ලා සිටියේ.

පෙත්සම් කාර පාර්ශවය කරුණු දක්වමින් කියා සිටියේ මෙහි වග උත්තර කරු ලෙස ජනාධිපතිවරයා නම් කර ඇත්තේ මුදල් අමාත්‍යවරයා වශයෙන් බැවින් තිස් පස් වන වගන්තිය උල්ලංඝනය වී නැති බවයි.

ඒ අනුව අදාළ විරෝධතාව ප්‍රතික්ෂේප කළ ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඬුල්ල පෙත්සම දිගට විභාග කිරීමට අවසර දුන් බවයි ගෝල්ඩන් කී මුදල් අහිමි වූවන්ගේ සංගමයේ සභාපතිනිය දුෂාන්ති හපුගොඩ කියා සිටියේ.

2008 වසරේ ගෝල්ඩන් කී සමාගම කඩා වැටීමකට ලක්වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස එහි තැන්පත් කර තිබූ රුපියල් කෝටි 2600 ආසන්න මුදලක් තැන්පත් කරුවන්ට අහිමි වූ බවයි එම සමාගම පවසන්නේ.

අදාළ මූල්‍යමය වංචාව සම්බන්ධයෙන් එම සමාගමේ අධිපති ලලිත් කොතලාවල ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ ද අපරාධ නඩුවක් පවරා තිබේ.