ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සම සමාජයේ වෘත්තීය සමිතිය ජනපතිට එරෙහිව

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් වන්නේ නම් ඔහුට හෝ ඇයට සහයෝගය දීමට තීරණය කළ බව ආණ්ඩුවේ කම්කරු සමිති සම්මේලනය පවසයි.

ලංකා සම සමාජ පක්ෂයට අනුබද්ධිත වෘත්තීය සමිතිය මෙම තීරණයට එළැඹ සිටින්නේ වත්මන් ජනාධිපතිවරයාට සහයෝගය දීම සඳහා තම පක්‍ෂ නායකයන් තීරණය කර තිබියදීයි.

ආණ්ඩුවේ කම්කරු සමිති සම්මේලනයේ ප්‍රධාන සභාපති ඩී එම් ඩී අබේරත්න බීබීසීයේ තිසර රතුවිතාන සමඟ කළ සාකච්ඡාවක දී කියා සිටියේ ආචාර්ය ඇන් ඇම් පෙරේරා පවා විරුද්ධ වූ මෙම විධායක ජනාධිපති ක්‍රමය රැක ගැනීම සඳහා සම සමාජ පක්ෂයේ වත්මන් නායකයන් පෙළඹී සිටින බවයි.

'ඇමතිකම් රැක ගැනීමට'

‘පක්ෂයේ නායකයෝ ඔවුන්ගේ පෞද්ගලිකත්වය සඳහා විශේෂයෙන්ම ඇමතිකම් ආරක්ෂා කර ගැනීමට, ඇතැම් අයගේ තනතුරු ආරක්ෂා කර ගැනීම සඳහා අනෙකුත් මධ්‍යම කාරක සභිකයන් නොමඟ යවා තීන්දු කෙරුවා ජනාධිපතිවරයාට සහයෝගය දෙන්න.’ ආණ්ඩුවේ කම්කරු සමිති සම්මේලනයේ ප්‍රධාන සභාපති ඩී එම් ඩී අබේරත්න පැවසීය.

ලංකා සම සමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයෙකු ද වන ඩී එම් ඩී අබේරත්න තව දුරටත් කියා සිටියේ තම පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට පක්ෂ නායකයන් පියවර ගැනීමට ඉඩ ඇති නමුත් තම ක්‍රියාමාර්ගය නතර කිරීමට සුදානම් නැති බවයි.

ආණ්ඩුවේ කම්කරු සමිති සම්මේලනයේ ප්‍රධාන සභාපති ඩී එම් ඩී අබේරත්න සමඟ කළ සම්පුර්ණ සාකච්ඡාව සඳහා ඉහළින් ඇති හඬ පටයට සවන් දෙන්න.