ජනාධිපති බොරු කියනවා - සොල්හයිම්

Image copyright AFP
Image caption 2006 වසරේ සාම සාකච්ඡා පැවති සමයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ සාම නියෝජිත එරික් සෝල්හයිම් අතර හමුවක්

ශ්‍රී ලංකා ආණ්ඩුව සහ එල්ටීටීඊ සංවිධානය අතර සාම සාකච්ඡා පැවති සමයේ එල්ටීටීඊයට මුදල් ලබා දුන් බවට ජනාධිපති මහින්ද රාජපක්ෂ කරන චෝදනා අසත්‍ය බව හිටපු නෝර්වේජියානු සාම නියෝජිත එරික් සෝල්හයිම් පවසයි.

ජනවාරි මාසයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ඉලක්ක කර ජනාධිපති මහින්ද රාජපක්ෂ තමාට මේ ආකාරයේ බොරු චෝදනා එල්ල කරන බවයි එරික් සොල්හයිම් කියා සිටියේ.

‘ මැතිවරණය එළඹෙමින් තිබියදී ජනාධිපති රාජපක්ෂ මා පිළිබඳ බොරු කියනවා. මම හෙට සත්‍ය හෙළි කරනවා’ යනුවෙන් හිටපු සාම නියෝජිතවරයා ට්වීටර් පණිවුඩයක සඳහන් කරයි.

“එයාලා සල්ලි දුන්නා ගිහිල්ලා. නොර්වේ ආණ්ඩුව මේ ගැන පරීක්ෂණ කරන්න ඕනි හරියට නම්. කොටි ත්‍රස්තවාදීන්ට සල්ලි ගෙනහින් දුන්නා. ඒවාට සාක්කි අපි ගාවත් තියනවා” යනුවෙන් කුරුණෑගල පැවති උත්සවයකදී පැමිණ සිටි ජනතාව අමතමින් ජනාධිපතිවරයා කළ චෝදනාවටයි එරික් සොල්හයිම් මෙසේ ප්‍රතිචාර දැක්වූයේ.

යුද අපරාධ

එල්ටීටීඊ සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීම කළ නොහැකි බව හිටපු නෝර්වේජියානු සාම නියෝජිතවරයා තමාට පැවසූ බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ එම උත්සවයේදී වැඩි දුරටත් කියා සිටියේය.

එරික් සොල්හයිම් එක්දහස් නවසීය අනූ නවයේ සිට දෙදහස් හය වසර දක්වා නෝර්වේජියානු සාම නියෝජිතවරයා වශයෙන් කටයුතු කළේය.

ශ්‍රී ලංකාවේ සිදු වූ බවට චෝදනා නැගෙන යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ඕනෑම ජාත්‍යන්තර විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සාක්ෂි ලබා දීමට තමා ඉදිරිපත් වන බව එරික් සොල්හයිම් හිටපු නෝර්වේජියානු සාම නියෝජිතවරයා මීට ඉහතදී පැවසුවේය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ සිදු කළ චෝදනා සම්බන්ධයෙන් සඳුදා අදහස් දක්වන බවයි හිටපු නෝර්වේජියානු සාම නියෝජිත එරික් සොල්හයිම් බීබීසී සංදේශයට කියා සිටියේ.

ජනාධිපතිවරයා එල්ල කරන චෝදනාව සම්බන්ධයෙන් විමසා බලා හැකි ඉක්මනින් නෝර්වේජියානු ආණ්ඩුවේ මතය දැනුම් දෙන බව එරට විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයෙක් සංදේශයට ප්‍රකාශ කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර