එල්ටීටීඊයට කිසි දිනෙක මුදල් දුන්නේ නෑ - සොල්හයිම්

Image copyright AFP
Image caption "එල්ටීටීඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ට තමන්ගේ පණිවුඩ කිහිපයක්ම යොමු කරන මෙන් ජනාධිපති රාජපක්ෂ මගෙන් ඉල්ලා සිටියේය"

ශ්‍රී ලංකා සාම ක්‍රියාදාමයේ පහසුකම් සපයන්නා ලෙසින් නොර්වේ රාජ්‍යය කිසිදිනෙක එල්ටීටීඊයට හෝ විශේෂයෙන්ම එහි හමුදා මෙහෙයුම්වලට මුදල් ලබා දී නැති බව හිටපු නෝර්වේජියානු සාම නියෝජිත එරික් සොල්හයිම් පවසයි.

ඔහු ඒ බව ප්‍රකාශ කරන්නේ තමන් ඇතුළු නෝර්වේ බලධාරීන් කොටි සංවිධානයට මුදල් ලබා දුන් බවට පසුගිය සෙනසුරාදා කුරුණෑගල පැවති රැස්වීමකදී ජනාධිපති මහින්ද රාජපක්ෂ කළ චෝදනාව පිළිබඳව ප්‍රතිචාරය පළ කරමින්.

කෙසේ නමුත් සාම ක්‍රියාදාමය දියත් වූ සමයේදී එල්ටීටීඊය සාම ක්‍රියාදාමයට වඩාත් ක්‍රියාකාරීව මැදිහත් කරගැනීමේ අරමුණින්, ගුවන් විදුලි විකාශන යන්ත්‍රයක් ඇතුළුඇතැම් 'ආර්ථික සහන' එල්ටීටීඊ සාම ලේකම් කාර්යාලයට ලබාදුන් බවත් හිටපු සාම නියෝජිතයා පවසයි.

එසේ ආර්ථික සහන ලබාදීම එවකට පැවති ශ්‍රී ලංකා ආණ්ඩුවේ පූර්ණ අනුදැනුම ඇතිව සිදුකරන ලද්දක් බව එරික් සොල්හයිම්, වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ එවැනි එක් ආණ්ඩුවක අගමැති පදවිය දැරූ බවත් සිහිපත් කරයි.

'පූර්ණ සහාය පළ කළා'

"ශ්‍රී ලංකාව සම්බන්ධ අපේ සෑම සාම ප්‍රයත්නයකදීම මෙන්, ශ්‍රී ලංකා ආණ්ඩුව සමඟ විනිවිදභාවයෙන් යුතුව කටයුතු කළෙමු," යනුවෙන්ද එරික් සොල්හයිම් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

යුරෝපා ආරක්ෂාව සහ සහයෝගිතාවය පිළිබඳ සංවිධානයේ සංවර්ධනය පිළිබඳ කමිටුවේ ප්‍රධානියා වශයෙන් ඔහු වර්තමානයේ සේවය කරමින් සිටී.

ජනාධිපති රාජපක්ෂ ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා බවට පත්වීමට ප්‍රථම සහ පසුව තමන් බොහෝ වතාවක් ඔහු මුණ ගැසුණු බව සඳහන් කරන හිටපු සාම නියෝජිතයා, සාම ක්‍රියාදාමයේ ප්‍රධාන අංග පිළිබඳව ඒ සෑම අවස්ථාවකදීම ඔහුට දැනුම් දුන් බවත් පවසයි.

"ආණ්ඩුවේ ඇමතිවරයකු වශයෙන් සහ පසුව අගමැතිවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ අපේ සාම අරමුණට පූර්ණ සහාය දැක්වූවා පමණක් නොව එය දිගටම පවත්වාගෙන යන මෙන් නොර්වේ දිරිමත් කරමින් එහි වර්ධනයන් පිළිබඳව තමන් දැනුවත් කරන මෙන් ද ඉල්ලා සිටියේය," යනුවෙන්ද ඔහුගේ නිවේදනයේ සඳහන් වේ.

එම සහාය පිළිබඳව නෝර්වේ රාජ්‍යය ජනාධිපතිවරයාට කෘතවේදී වන බවත් එහි සඳහන්.

2005 දී ජනාධිපතිවරණය ජයගැනීමෙන් අනතුරුව දිගටම සාම ක්‍රියාදාමය පවත්වා ගෙන යන මෙන් ජනාධිපති රාජපක්ෂ නෝර්වේ රාජ්‍යයෙන් ඉල්ලා සිටි බව පවසන නිවේදනය, ශ්‍රී ලංකාවේ සංචාරය කරන මෙන් තමන්ට පුද්ගලිකවම ආරාධනා කෙරුණු බවත් සඳහන් කරයි.

"ඉන් අනතුරුව එල්ටීටීඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ට තමන්ගේ පණිවුඩ කිහිපයක්ම යොමු කරන මෙන් ජනාධිපති රාජපක්ෂ මගෙන් ඉල්ලා සිටියේය. එම සියලු පණිවුඩයක්ම වහාම ඔහුට යොමු කරන ලද අතර, කෙටි කාලසීමාවකට ඝාතන ද නැවතිණි," යනුවෙන්ද සොල්හයිම් සඳහන් කරයි.

තමන් විසින් කරන ලද ඒ මෙහෙය වෙනුවෙන් ජනාධිපතිවරයා තමාටත්, නෝර්වේ රාජ්‍යයටත් ස්තුති කරන ලද බවත් නිවේදනයේ දැක්වේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර