ආධාර කළේ එල්ටීටීඊ 'සාම ලේකම් කාර්යාලයට පමණයි'

Image copyright AFP
Image caption "ඒක සාම ලේකම් කාර්යාලය පිහිටුවීම සඳහා දුන්න සුළු මුදලක්. අපි යථාර්ථවාදීව හිතුවොත් විදේශගත දෙමළ ප්‍රජාව ඔවුන්ට අතිවිශාල මුදලක් ලබා දුන්න බව හැමෝම දන්නවා"

නෝර්වේ රාජ්‍යය සහ නොර්වේ සාම නියෝජිතයන් එල්ටීටීඊ සංවිධානයට මුදලින් ආධාර කළ බවට ජනාධිපති මහින්ද රාජපක්ෂ කරන චෝදනාව නෝර්වීජියානු හිටපු සාම නියෝජිතයා තරයේ ප්‍රතික්ෂේප කරයි.

එරික් සොල්හයිම් ඒ බව කියා සිටියේ ප්‍රංශයේ පැරිස් අගනුවර සිට බීබීසී සංදේශය සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වෙමින්.

"ඒක ඇත්තක් නෙවෙයි. ඒක ඇත්ත නෙවෙයි කියල ජනාධිපතිතුමාත් දන්නවා. නෝර්වේ රට කවර කවදාවත් ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ කණ්ඩායම්වලට මූල්‍යාධාර දෙන්නේ නෑ," යනුවෙන් ඔහු සඳහන් කළේය.

කෙසේ නමුත් එල්ටීටීඊය සාම ක්‍රියාදාමයට වඩාත් ක්‍රියාකාරීව මැදිහත් කරගැනීමේ අරමුණින් එල්ටීටීඊ සාම ලේකම් කාර්යාලයට 'ආර්ථික සහන' ලබා දුන් බව එරික් සොල්හයිම් සඳුදා නිකුත් කළ නිවේදනයෙන් පිළිගෙන තිබේ.

'අගමැති කාලෙත් මුදල් දුන්නා'

එය එල්ටීටීඊ සංවිධානයට මූල්‍යාධාර ලබාදීමක් නොවන්නේ දැයි යන්න සංදේශයේ සරෝජ් පතිරණ ඔහුට යොමු කළ ප්‍රශ්නයක්.

"ඇත්තෙන්ම ඔවු. නමුත් ඒක සිදුවුනේ ශ්‍රී ලංකා ආණ්ඩුවේ පූර්ණ සහයෝගය සහ අනුදැනුම ඇතිවයි," යන්නයි එම ප්‍රශ්නයට නොර්වීජියානු හිටපු සාම නියෝජිතයාගේ ප්‍රතිචාරය වූයේ.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

"ඒ වගේම මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකාවේ අගමැතිවරයා ලෙසින් හිටපු කාලෙත් අපි එල්ටීටීඊ සාම ලේකම් කාර්යාලයට මුදල් ටිකක් ලබා දුන්නා. නමුත් ඒක කළේත් ශ්‍රී ලංකා ආණ්ඩුවේ අනුමැතිය ඇතිව පූර්ණ විනිවිදභාවයකින් යුතුවයි."

සාම ලේකම් කාර්යාලයට ලබා දුන් මුදල් යුදමය කටයුතු සඳහා යොදා නොගත් බවට තිබෙන සහතිකය කුමක්දැයි යන්න සංදේශය ඔහුට යොමු කළ තවත් ප්‍රශ්නයක්.

"ඒක සාම ලේකම් කාර්යාලය පිහිටුවීම සඳහා දුන්න සුළු මුදලක්. අපි යථාර්ථවාදීව හිතුවොත් විදේශගත දෙමළ ප්‍රජාව ඔවුන්ට අතිවිශාල මුදලක් ලබා දුන්න බව හැමෝම දන්නවා."

නෝර්වීජියානු පරීක්ෂණයක්?

කිසියම් හෝ අවස්ථාවක කොටි සංවිධානයට පුද්ගලිකවම මුදල් ලබා දුන්නේ දැයි විමසූ අවස්ථාවේ නොර්වීජියානු හිටපු සාම නියෝජිත එරික් සොල්හයිම් කියා සිටියේ, එය සම්පූර්ණ අසත්‍ය චෝදනාවක් බවයි.

තමන්ට හමු වූ මුල් අවස්ථාවේ පටන්ම ජනාධිපති මහින්ද රාජපක්ෂ නෝර්වීජියානු සාම ක්‍රියාදාමය අගය කළ බවත් හිටපු සාම නියෝජිතයා පවසයි. එසේ නම් ජනාධිපතිවරයා සාම ක්‍රියාදාමය කිසිවිටෙක විවේචනය නොකළේද?

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

"ඔහු සමහර විශේෂිත කරුණු ගැන විවේචනය කළා. ඒක සාමාන්‍ය දෙයක්. නමුත් සාම ක්‍රියාදාමයේ අරමුණ සහ සංයුතියට ඔහු නිතරම සහාය පළ කළා," බවයි ඔහු පවසන්නේ.

මේ තත්වය යටතේ ජනාධිපතිවරයා එල්ල කරන චෝදනා පිළිබඳව නෝර්වීජියානු රජය පරීක්ෂණයක් පවත්වනු ඇතිදැයි සංදේශය විමසූ අවස්ථාවේ එරික් සොල්හයිම් කියා සිටියේ එම චෝදනාව සම්පූර්ණ අසත්‍යයක් වන අතර එය අසත්‍යයක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ පවා හොඳින්ම දන්නා බවයි.

එරික් සොල්හයිම් හිටපු සාම නියෝජිතයා කරන චෝදනාව පිළිබඳව විමසීම පිණිස කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇමතූ අවස්ථාවේ තමන් එම ප්‍රකාශය නුදුටු බැවින් ප්‍රතිචාරයක් පළ කළ නොහැකි බව අමාත්‍යවරයා සංදේශයට කියා සිටියේය.