පොදු අපේක්ෂක සම්මුතිය බ්‍රහස්පතින්දා?

Image caption සම්මුතියට සඳුදා අත්සන් තැබීමට නියමිතව තිබුණත් අවසාන මොහොතේ එය කල් දමන බව නිවේදනය කෙරිණ.

එළැඹෙන ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම සම්බන්ධ සම්මුතියට අත්සන් තැබීම බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා දක්වා කල් තැබීමට සිදු වනු ඇති බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ප්‍රකාශ කරයි.

සිය සංවිධානයේ නායක මාදුළුවාවේ සෝභිත හිමියන් තවමත් රෝහල්ගතව සිටීම සහ විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මේ වනවිට විදේශීය සංචාරයක නිරතව සිටීම මේ ප්‍රමාදයට ප්‍රධාන හේතූන් බව ව්‍යාපාරයේ සාමාජිකයෙක් බීබීසී සංදේශය කළ විමසීමකදී සඳහන් කළේය.

පොදු අපේක්ෂකයා සම්බන්ධ සම්මුතියට සඳුදා අත්සන් තැබීමට නියමිතව තිබුණත් අවසාන මොහොතේ එය කල් දමන බව නිවේදනය කෙරිණ.

පසුගිය සතියේ කොළඹදී පැවති විපක්ෂයේ ඒකාබද්ධ ජනරැළියෙන් අනතුරුව මාදුළුවාවේ සෝභිත හිමියන් හදිසියේම පෞද්ගලික නිවසකදී ජනාධිපති මහින්ද රාජපක්ෂ, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මුණ ගැසී සාකච්ඡා කළ බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තාකොට තිබිණ.

ඒ පිළිබඳව විමසීම පිණිස මාදුළුවාවේ සෝභිත හිමියන් ඇමතීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.

විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ, එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයේ සභාපති කරු ජයසූරීය සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කිරීමට සලකා බැලෙන නම් අතර තිබෙන බවයි ජනමාධ්‍ය වාර්තා කරන්නේ.

තවත් නම් කිහිපයක්ද ඒ අතර සාකච්ඡාවට බඳුන් වී තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර