ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'මාධ්‍ය නිදහස යනු මාධ්‍ය අයිතිකරුගේ නිදහසයි'

ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස යනු මාධ්‍ය ආයතනවල අයිතිකරුවන්ට මාධ්‍ය හැසිරවීමට ඇති නිදහස බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

“අද මාධ්‍ය නිදහස කියන්නේ මාධ්‍යවේදීන්ගේ නිදහස නෙවෙයි. එහි අයිතිකරුවන්ට මාධ්‍ය හැසිරවීමට ඇති නිදහස. ඒක තමයි ඇත්ත’ යනුවෙන් අනුර කුමාර දිසානායක කියා සිටියේ "මහින්දට තුන් වරක් බැහැ ! නීති විරෝධී ජනාධිපතිවරණ එපා" යන මැයෙන් ‘ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජනතා ව්‍යාපාරය’ සංවිධානය කළ රැළිය අමතමින්.

මේ වන විට මාධ්‍ය ආයතන අයිතිකරුවන්ගේද නිදහස අහිමි කොට ජනාධිපති මහින්ද රාජපක්ෂට අවශ්‍ය පරිදි එම ආයතන සකස් කර ඇති බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ.

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සිතැඟි ඉටු කරන ආයතනයක් බවට පත් වී ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

ජනාධිපතිවරයාට තුන් වන වරටත් ජනපති ධුරය සඳහා තරඟ කළ හැකි බවට වන අධිකරණ මතය විවේචනය කළ අනුර කුමාර දිසානායක “සිරිපාල කිව්ව පරිදි ජනාධිපතිවරයාට නැවත වතාවක් ඉල්ලන්න පුළුවන්ලු. අවුරුදු හතරකින් පස්සේ ඡන්දේ කැඳවන්න පුළුවන්ලු. අපි ඒ මතේ කිසි සේත් පිළිගන්නේ නෑ” යනුවෙන් කියා සිටියේය.

බදාදා මධ්‍යම රාත්‍රි දොළහට ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායකයා එහිදී සඳහන් කළේය.

වැසිකිළි

“ නැවත ජනවරමක් සඳහා ගැසට් එක නිවේදනය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානය නම් කරලා තියනවා හෙට නොවැම්බර් දහනවය ලෝක වැසිකිළි දිනය කියලා. ලෝක වැසිකිළි දිනේදී රාජපක්ෂ සැලසුම් කරලා තියනවා රටම ගඳ ගහන වැඩකට අත තියන්න” යනුවෙන් පැවසූ අනුර කුමාර දිසානායක ඊට එරෙහිව නැගී සිටින බව කියා සිටියේය.

ශ්‍රී ලංකාව තුළ ‘කළු සහ සුදු’ ව්‍යාපාර සියල්ල මෙහෙයවන්නේ ආණ්ඩුවේ දේශපාලනඥයන් විසින් බවත් ඔහු වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුවේය.

අතුරළියේ රතන හිමි, පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග ඇතුළු වෙනත් පක්ෂ නියෝජිතයෝ සහ සිවිල් සමාජ ක්‍රියධරයෝ රැසක් රැළියට සහ පාගමනට එක් වූහ.

පවතින ව්‍යවස්ථාව යටතේ බලයට පැමිණෙන ඕනෑම අයෙක් කෙටි කාලයක් ඇතුළත දූෂිත පුද්ගලයකු බවට පත් වන බව රැළිය ඇමතූ ජාතික හෙළ උරුමයේ සභාපති අතුරුලියේ රතන හිමියෝ කියා සිටියහ.

“ව්‍යවස්ථාවේ තියනවා තනි ඒකාධිපතියෙක් ගොඩනගන බලතල. තමාගේ කුස්සියේ වැඩ කරන මනුස්සයා උනත් කමක් නැහැ අත්තනෝමතිකව අධිකරණයට පත් කරන්න පුළුවන්” යනුවෙන් පැවසූ අතුරුලියේ රතන හිමියෝ ව්‍යවස්ථාව වෙනස් කර රට වෙනත් මගකට ගෙන යෑම සඳහා සියලු බලවේග එක් විය යුතු බව අවධාරණය කර සිටියහ.