ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ආර්.කේ.ඩබ්ලිව්; නීති විදුහලේ ස්වර්ණමය යුගය

ශ්‍රී ලංකාවේ මුල් පෙළේ කීර්තිධර ජ්‍යෙෂ්ඨ නීතිවේදියකු වූ ආර්.කේ.ඩබ්ලිව්.ගුණසේකර ‘මෑතකාලීන ශ්‍රී ලංකා ඉතිහාසයේ පහළ වූ විශිෂ්ඨ ගණයේ මානවවාදියකු හැටියට හැඳින්විය හැකි’ යයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය පවසයි.

දිවියෙන් සමුගත් ආර්.කේ.ඩබ්ලිව්.ගුණසේකර නීතිවේදියාගේ අවමඟුල් උළෙල අද බදාදා(19) කොළඹ කනත්ත සුසාන භූමියේ දී සිදු කෙරිණ.

ආර්.කේ.ඩබ්ලිව්.ගුණසේකර චරිතය පැති මාන කීපයකින් අගය කළ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා ඔහු නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් කැප වූ පදවි තනතුරු නම්බු නාම උදෙසා පිළිවෙත පාවා නොදුන් ‘සැබෑ මිනිසකු’ වූ බවයි සඳහන් කළේ.

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විදුහල්පති පදවියේ කටයුතු කළ අවධියේ ආර්.කේ.ඩබ්ලිව්.ගුණසේකරයන් එම ආයතනයේ ගෞරවය සුරැකෙන මට්ටමින් පිරිසිදු එසේම විනයානුකූල පාලනයක් පවත්වා ගෙන ගිය බවයි, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය පවසන්නේ.

ආර්.කේ.ඩබ්ලිව්-ෆීලික්ස් ගැටුම

“ඒ කාලය නීති විදුහලේ ස්වර්ණමය යුගයක්.මමත් ඒ කාලයේ එහි ශිෂ්‍යයෙක්ව සිටියා. එවකට අධිකරණ ඇමතිවරයා වූ ෆීලික්ස් ආර්.ඩයස් බණ්ඩාරනායක විසින් නීති අධ්‍යයනය සම්බන්ධයෙන් ඇති කරන ලද වෙනසකට එකඟ නොවූ ආර්.කේ.ඩබ්ලිව්.ගුණසේකරයන් ඇමතිවරයාට යටත් නොවී පදවියෙන් ඉල්ලා අස්වීම භාර දුන්නා.ආර්.කේ.ඩබ්ලිව්.ගුණසේකර යනු එවැනි ඍජු චරිතයක්’ නීතිවේදී උපුල් ජයසූරිය අතීතය මෙනෙහි කරමින් කියා සිටියේය.

ඔහු දැඩි පාලකයෙක් වූ නමුත් සිසුන් ගැන විමසිලිමත් එසේම ඔවුන් තේරුම් ගත් පාලකයකු වූ බවත් නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය පවසයි.

‘අධිකරණයේ ස්වාධිපත්‍යය සොයා යන අපට ආර්.කේ.ඩබ්ලිව් විසින් ලබා දුන් ආදර්ශය ඉතා ඉහළ මට්ටමක පවතින බවයි ඔහු සිය සාකච්ඡාවේ දී වැඩිදුරටත් සඳහන් කළේ.