රනිල්ට සහය නෑ - ජවිපෙ

Image copyright Vijitha Herath

ආණ්ඩුවේ ඇමතිවරයකු පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වන බවට පල වන වාර්තා පිළිබඳව සිය අවධානය යොමු වී තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණ කියා සිටී.

රටේ දේශපාලන පරිසරය පෙළ ගැසෙන ආකාරය අනුව තම පක්ෂය තීරණයකට එළඹෙන බවයි ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කලේ.

ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පොදු අපේක්ෂකයා ලෙස කුමන ආකාරයෙන් ඉදිරිපත්වුවත් සිය පක්ෂයේ සහාය හිමි නොවන බවයි ඔහු පැවසුවේ.

විශ්වාසය

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හට ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ හැකිය යන විශ්වාසය රටේ ජනතාව තුළ නැති බවත් ඔහු පැවසුවේය.

ජනතා විමුක්ති පෙරමුණ දිගින් දිගටම රජයට බල කරන්නේ නීති විරෝධී ජනාධිපතිවරණයක් නොපවත්වන ලෙස බවත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ව්‍යවස්ථාවට පරිබාහිරව නීති විරෝධී ලෙස ජනාධිපතිවරණයක් කැඳවුවහොත් ඊට එරෙහිව ඔහු පැරදවීම සඳහා උපරිම ලෙස මැදිහත් වීමක් කරන බවත් විජිත හේරත් මන්ත්‍රීවරයා පැවසුවේය.

ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවක් කවර අවස්ථාවකදීවත් ප්‍රකාශ නොකළ බව ඔහු සඳහන් කළේය.

බරපතළ තත්වයක්

රටේ නීතියට පිටින් වැඩ කරන ජනාධිපතිවරයෙකු යළිත් රටේ නායකයා වීම අනාගතයේ දී බරපතළ තත්වයක් ඇතිවීමට පාර කැපීමක් නිසා ඔහු පැරදවීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ජනතා විමුක්ති පෙරමුණ විසින් ගන්නා බවත් ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් මන්ත්‍රීවරයා තවදුරටත් පැවසුවේය.