ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

පළමු පිල් මාරුව එජාපයට

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගම්පහ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක අද (20) සවස් භාගයේ මෙයින් ස්වල්ප වෙලාවකට පෙර එක්සත් ජාතික පක්ෂයට එක් විය.

නව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරනු ලැබීමෙන් අනතුරුව ආණ්ඩු පක්ෂයෙන් විපක්ෂයට එක් වූ පළමු දේශපාලනඥයා වසන්ත සේනානායකයි.

ආණ්ඩු පක්ෂයෙන් ඉවත් වූ මන්ත්‍රීවරයා එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානය වන ‘සිරිකොත’ මන්දිරයේ පැවැත්වුන මාධ්‍ය හමුවකට ද සහභාගී විය.

මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය ඇතුළු පක්ෂ සියල්ල එකතු වී රට වෙනුවෙන් බිහි කරන පොදු අපේක්ෂකයාට සහාය දීම සඳහා තමන් ආණ්ඩු පක්ෂයෙන් ඉවත් වුණු බවයි.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ යහපාලනය, මූල්‍ය පරිපාලනය වැනි කරුණු පිළිබඳ බරපතළ ප්‍රශ්න ඇති බවයි මන්ත්‍රී වසන්ත සේනානායක පැවසුවේ.

" ස්වාධීනව තිබිය යුතු අධිකරණය පොලිසිය සහ දේශපාලන ඇඟිලි ගැසීම්, බලපෑම්වලට ලක් වෙනවා. මේ සියල්ලට හේතුව මේ ව්‍යවස්ථාව බව මම හිතනවා, අද මුළු රට ම මේ ව්‍යවස්ථා සංශෝධන ගැන කතා කලාට පෙළ ගැසුනට මේ පාලනය ඒ ගැන තැකීමක් කරන්නේ නැහැ"

ආණ්ඩුවේ ක්‍රියාකලාපය නිසා අද අන්තර්ජාතික වශයෙන් ශ්‍රී ලංකාව හුදකලා වී ඇති බව පැවසූ මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේ ලංකාව ගෝත්‍රිකයන් පිරිසකට හා සමානව සැලකුම් ලබන තත්වයක් උදා වී ඇති බවයි. ආණ්ඩුවේ තවත් පිරිසක් විපක්ෂයට එක් වීමට සුදානමක් ඇති බවයි මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවේ දී කියා සිටියේ.

'තාරුණ්‍යට අදක් නැතුව හෙටක් නැහැ'

ආණ්ඩු පක්ෂයේ ප්‍රබල ඇමතිවරයෙක් ඇතුළු කණ්ඩායමක් විපක්ෂයට පැමිණෙන බවට ඉඟි පල වෙමින් තිබිය දී කලින් සැලසුම් කළ පරිදි වසර දෙකකට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ජනාධිපතිවරයා ගත් තීරණයෙන් පැහැදිලි වන්නේ ජයග්‍රහණය වෙනුවෙන් ඇති දැඩි ආත්ම විශ්වාසය නොවේදැයි බිබිසිය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ, ජනාධිපතිවරණය වෙනුවෙන් කළ පෙර සුදානම සහ වැඩ කටයුතු නිසා මැතිවරණය කල් යැවීමට පමා වැඩි බවයි.

රාජපක්ෂ පවුලෙන් තමන්ට කිසිදු අසාධාරණයක් සිදු වී නොමැති බව පැවසූ වසන්ත සේනානායක මන්ත්‍රීවරයා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ තාරුණ්‍යට හෙටක් වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ,

" ඒගොල්ලෝ කතා කරන්නේ තරුණයාට හෙටක් ගැන, තරුණයාට අදක් තියෙන්න ඕනේ හෙටක් ගැන කතා කරන්න"

තමන් දේශපාලනයට පැමිණි විට එක්සත් ජාතික පක්ෂයට එක් නොවූයේ ඔවුන් යුද්ධය පිළිබඳ දැරූ ස්ථාවරය සම්බන්ධයෙන් තමන්ගේ පැහැදීමක් නොතිබූ නිසා බව ද මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවේදී කියා සිටියේය.

අද බදාදා (20) කැබිනට් මාධ්‍ය හමුවේ දී ප්‍රකාශයක් කළ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, මන්ත්‍රීවරුන් 162 ක් හා දේශපාලන පක්ෂ දාහතරක් නියෝජනය වෙන ආණ්ඩුවකට පිල් මාරුවීම් නොවන බවට සහතිකයක් දීමට නො හැකි බව ප්‍රකාශ කළේය.