ජනපතිවරණය: පැතිකඩ තුනක්

Image copyright Getty
Image caption මෙවර ජනාධිපතිවරණය ජනාධිපතිවරයාට විශාල අභියෝගයක් විය හැකි බවයි පැවසෙන්නේ

ඌව පළාත් සභා මැතිවරණය අවසන් වී මාස හයක් ගත වීමටත් පෙර නියමිත ධුර කාලය අවසන් වීමට පළමු පැවැත්වීමට නියමිත තවත් ජනාධිපතිවරණයක් මේ වන විට ප්‍රකාශයට පත්වී අවසන්.

මෙවැනි මැතිවරණ පැවැත්වීම හේතුවෙන් දේශපාලන ප්‍රශ්ණ ගැන සාකච්ඡා කිරීමට ජනතාවට ඇති අවස්ථාවන් මඟ හරවා ඇති බව සමාජය සහ සංස්කෘතිය පිළිබඳව අධ්‍යයනයක යෙදී සිටින ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන සංදේශයට පැවසීය.

"සමාජයට මේක ඉතාමත්ම ඍණාත්මකව, එහෙම නැතිනම් නරක විදියට බලපානව. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මෙහෙම මැතිවරණ පැවැත්විය යුතු නැහැ," යනුවෙන්ද ඔහු සඳහන් කළේය.

"මැතිවරණයක් කියන්නෙ ජනතාවට කිසියම් කාරණයක දී තෝරා ගැනීමක් කරන්නට වෙන අවස්ථාවක්. තමන්ගේ සමාජයේ ජීවිතයට අදාළ ඉතා වැදගත් දෙයක් තෝරාගන්නට තමයි මැතිවරණයක් තියන්නෙ. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක නම් මාධ්‍ය නිදහස පවතිනව නම් මාධ්‍යය තුළ සමාජ මුළු පැවැත්වෙනව, සමාජ සම්භාෂණ පැවත්වෙනව, සම්මන්ත්‍රණ සාකච්ඡා පැවත්වෙනව. එවැනි සාකච්ඡා දහස් ගණනක් පැවැත්වෙන්න ඕන සමාජය තුළ පුරවැසියන්ට මේ තීරණය ගන්න හැකියාවක් ලැබෙන්න," යනුවෙන් පවසන ආචාර්ය විජේසිරිවර්ධන ගේ අදහස එම අවස්ථාව ජනතාවට ලබා දී නැති බවයි.

කුමන මාර්ගයද?

Image copyright AFP

ජනාධිපතිවරණයක් යනු අතීත වාර්තාවන් සලකා බලා ඒවා ඇගයීම පමණක් නොවන බව පවසන ඔහු වඩා වැදගත් වන්නේ අනාගතය සඳහා තෝරා ගන්නේ කුමන මාර්ගය ද යන්න බවයි.

අනාගතයට විහිදෙන මාර්ග විශාල ප්‍රමාණයක් අතරින් සුදුස්සා තෝරා ගැනීම සඳහා ජනතාව අතර සංවාදයක් පවත්වා ගැනීමට අවකාශ ලබාදිය යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේවුවද ඔහුගේ අදහස සමස්ථ ශ්‍රී ලාංකීය සමාජයේ අදහස ලෙස ලඝුකොට දැක්විය නොහැකියි.

බස්නාහිර පළාත් සභාවේ සංස්කෘතික, කලා සහ සෞන්දර්යාත්මක කටයුතු පිළිබඳ උපදේශක සුනිල් ආර් ගමගේ පවසන්නේ තමන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යනු රජෙකු ලෙස දකින බවයි.

2009 යුද ජයග්‍රහණයෙන් පසු අතිශය ප්‍රසිද්ධියට පත් 'ආයුබෝවේවා මහරජාණනේ' ගීතය රචනා කළ ඔහු පවසන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ලද ජයග්‍රහණය සැබෑ ජනතා පැතුමක් බවයි.

"මේ ගීතය තුළින් දකින දේ අදටත් මගේ හිත තුළ තියනව. මම නිවැරදි දෙයක් කළේ. ඒ යුද්ධය උදෙසා ජනාධිපතිවරයා විසින් කරන ලද මෙහෙවර අගය කිරීමක් කළා කියන හැඟීම තමයි අදටත් මම විශ්වාස කරන්නෙ. ඒ ගැන කිසිදු බියක් සැකක් සංකාවක් මා තුළ නැහැ," යනුවෙන් ඔහු පැවසුවේය.

'ජනපති රජෙක්'

ඉතිහාසයේ විවිධ අවස්ථාවල ජනතා යහපත වෙනුවෙන් යුද්ධ කළේ රජවරුන් විසින් බව පවසන සුනිල් ආර් ගමගේ, එම රජවරුන් විසින් කළ කාර්යය දැන් අගමැතිවරුන් සහ ජනාධිපතිවරුන් විසින් කරන බව සඳහන් කරයි.

දේශපාලනඥයෙක් ලෙස නොව, කලාකරුවෙක් හා සාමාන්‍ය පුරවැසියෙක් ලෙස යුද්ධය දුටු තමන් එම යුද්ධය නිමා කළ නායකයා රජෙකු ලෙස දකින බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

එහෙත් ඇතැම් දේශපාලන විචාරකයන්ගේ අදහස එයට වඩා තරමක් වෙනස්.

ධූර කාලය නිමාවීමට වසර දෙකකට කලින් ජනාධිපතිවරණය පැවැත්වීමට මහින්ද රාජපක්ෂ පෙළෙඹ වූ කාරණය, අනාගතයේ විශාල දේශපාලන අර්බුදයක පෙරනිමිති දැකීම බවයි දේශපාලන විද්‍යාව පිලිබඳ කථිකාචාර්යවරයකු වන ටෙරන්ස් පුරසිංහ ගේ අදහස.

"විශේෂයෙන්ම යුද්ධය ජයග්‍රහණය කිරීම හේතුකොටගෙන සිංහල සමාජය තුළින් ආණ්ඩුවට ලැබුණු ප්‍රතිචාරය, ජනප්‍රියත්වය ක්‍රමානුකුලව දැන් පිරිහෙමින් පවතිනව. ඒකට හේතුවක් තමයි මේ ආණ්ඩුව අති විශාල ආකාරයෙන් සංවර්ධන මායාවක් පෙන්නීම සහ ඒ සඳහා විදේශීය බැංකු වලින් විශාල ලෙස ණය ගැනීම," යනු කථිකාචාර්ය පුරසිංහ ගේ අදහසයි.

එසේම පොදු අපේක්ෂකයෙක් වටා සියලුම විරුද්ධ දේශපාලන පක්ෂ ඒකරාශී වෙමින් පවතින බව පෙන්වා දෙන කථිකාචාර්ය ටෙරන්ස් සුළු ජාතීන් ආණ්ඩුවේ වෛරක්කාරයින් බවට පත්වී තිබීමත් මෙවර ජනාධිපතිවරණය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට විශාල අභියෝගයක් වීමට හේතුවක් වන බව වැඩිදුරටත් පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර