ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

රතන හිමියන්ට එරෙහි විරෝධතාවක්

ජාතික හෙළ උරුමයේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහි විරෝධතාවක් අද, බ්‍රහස්පතිනදා පැවැත්වුනේ උන්වහන්සේ භාරයේ පවතින ඉඩමක් ජනතාව වෙත ලබා දෙන ලෙස ඉල්ලමින්.

ඉඩම් නොමැති විශාල පිරිසක් සිටින නිසා රාජගිරිය, ඔබේසේකරපුර, නානායක්කාර මාවතේ පිහිටි එම ඉඩම ප්‍රදේශවාසීන්ට ලබා දෙන ලෙස විරෝධතාකරුවෝ ඉල්ලා සිටිති.

මේ සම්බන්ධයෙන් සංදේශයට අදහස් දැක්වූ ජාතික හෙළ උරුමයේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පැවසුවේ අදාළ ඉඩම සඟ සතු කළ ඉඩමක් බවයි.

පූජා ඔප්පුවක්

එය පූජා භූමියක් ලෙස ජනාධිපතිවරයා විසින් පූජා ඔප්පුවකින් පූජා කොට ඇති බව පැවසූ උන්වහන්සේ එය විකිණීමට හෝ අන්සතු කිරීමට හෝ නොහැකි බව සඳහන් කළහ.

එසේ පූජා භූමි ප්‍රදානය කරන්නේ ජනාධිපතිවරයා විසින් බව පැවසූ උන්වහන්සේ තමන් වහන්සේට මීට වසර තුනකට ඉහතදී එම ඉඩම ප්‍රදානය කළ බවයි කියා සිටියේ.

මේ වන විට එම ඉඩමේ භාර කරු තමන් වහන්සේ බවත් පරම්පරාවෙන් පරම්පරාවට එහි අයිතිය සංඝයා වහන්සේට පැවරෙන බවත් පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ තවදුරටත් ප්‍රකාශ කළහ.

එම ඉඩමේ පිහිටා ඇති අධ්‍යයන ආයතනයක් මගින් ශුභ සාධන වැඩසටහන් රැසක් පවත්වා ගෙන යන බවත් උන්වහන්සේ පැවසූහ.