ආණ්ඩුවේ ප්‍රබලයකුගේ පෙරළිකාරී දේශපාලන තීරණයක්

ආණ්ඩුවේ ප්‍රබලයකුගේ පෙරළිකාරී දේශපාලන තීරණයක් දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කොයි මොහොතක හෝ පැවැත්වෙතැයි අපේක්ෂාවෙන් දෙස් විදෙස් මාධ්‍යවේදීහු අද උදෑසන සිට කොළඹ නව නගර ශාලාව අසල ‍රැදී සිටිති.

මේ අතර අද පෙරවරුවේ බත්තරමුල්ල ජන කලා කේන්ද්‍රයේදී, සෞඛ්‍ය සේවයේ පිරිසකට පත්වීම් ලබාදීම සදහා පැවැති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇමතූ සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා, තමන් තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා මෙන්ම ආණ්ඩුවේ ඇමතිවරයකු බවත්, එහෙත් හෙට වන විට බොහෝ කරැණු වෙනස් වීමට ඉඩ තිබෙන බවත් ප්‍රකාශ කළේය.

අදාළ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස පත්වීම්ලාභීන් ඇමතූ ඒ මහතා, දේශපාලනඥයින් මෙන්ම රාජ්‍ය සේවකයින්ද බලය පාවිච්චි කළ යුත්තේ ජනතාවට සැබෑ ලෙස ආදරය කරමින් අපක්ෂපාතීව හා මධ්‍යස්ථව ඔවුන්ට සේවය කිරීමට මිස බලය පාවිච්චි කොට මිනිසුන් තළා පෙළීමට හෝ ධනය රැස් කිරීමට නොවන බව අවධාරණය කළේය.

''මේ බලය ඔබ පාවිච්චි කළ යුත්තේ සැබෑ ලෙසම මිනිසුන්ට ආදරය කරන්නටයි. බලය-බලය රැකගැනීමට වත්, බලය පාවිච්ච කර ධනය රැස් කිරීමට වත් නොවෙයි. එය සැබෑ ලෙසම ජනතාව සදහායි. ඔවුන්ගේ අවශ්‍යතාවන් සදහායි. තනතුරුත් එක්ක ජනතාව තළන්න පෙළන්න නෙවෙයි. බලයෙන් ධනය හොයන්න නෙවෙයි. බලය පාවිච්චි කරල දූෂණ, වංචා අක්‍රමිකතා කරන්න නෙවෙයි. ඒ ආදර්ශය අනුව ඔබ පැහැදිලිව කටයුතු කළ යුතුයි."

කතාව අවසන් කරමින් ඔහු මෙසේද ප්‍රකාශ කළේය.

''මම සෞඛ්‍ය ඇමතිවරයා හැටියට අවුරුදු 5කට ආසන්න කාලයක් කටයුතු කළා. මේ අවස්ථාවේ ඔබ සමග එක් වන්නට ලැබීම ගැන සතුටු වෙනවා. ඔබේත් මගේත් රට වෙනුවෙන් ඉදිරියේදී මීටත් වඩා සේවය කිරීමට මම කැප වන බව ප්‍රකාශ කරනවා"

මේ අතර ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමග තරගයට එක්වන විපක්ෂයේ පොදු අපේක්ෂකයා පිළිබද මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් නොකිරීමට හේතු වූයේ, ප්‍රධාන විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය පමාවීම බවත්, අද දිනය තුළ එම ආන්දෝලනය අවසන් වනු ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් සන්දේශයට ප්‍රකාශ කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර