ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

බරපතල පහරක්, ඒත් මගේ සහාය මහින්දට: වාසු

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන ඇමතිවරයා ඉවත්වීම බරපතල පහරක් සහ පාඩුවක් වුවත් ජනපතිවරණයේදී ජනාධිපති රාජපක්ෂට සහාය දෙන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර බීබීසී සංදේශයට පැවසීය.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙසින් ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව ජනපතිවරණයට ඉදිරිපත් වන බව සිකුරාදා කොළඹදී නිවේදනය කළේය.

කෙසේ නමුත් තමන් තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයකු බවත් හිටපු අමාත්‍යවරයා පැවසීය.

විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ සහාය ලබන අපේක්ෂකයකුට සහාය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් මැලිකමක් දක්වනු ඇති බව පවසන ජාතික භාෂා සහ ඒකාග්‍රතාවය පිළිබඳ අමාත්‍ය වාසුදේව නානායක්කාර, විශේෂයෙන්ම සිරිසේන හිටපු අමාත්‍යවරයා මැතිවරණයේදී "බටහිර අධිරාජ්‍යවාදී, ප්‍රතිගාමී කඳවුර" නියෝජනය කිරීම ඔහුට අවාසියක් වනු ඇති බවත් සඳහන් කළේය.

එබැවින් ජනාධිපති මහින්ද රාජපක්ෂ එළැඹෙන මැතිවරණයේදී ජයග්‍රහණය කරනු ඇතැයි විශ්වාස කරන බව පවසන අමාත්‍යවරයා, එම අරමුණ සාක්ෂාත් කරගැනීම සිය 'අධිෂ්ඨානය' බවත් සඳහන් කළේය.

18 සංශෝධනය: 'කණගාටුවක් නෑ'

කොළඹ පැවති මාධ්‍ය හමුව ඇමතූ හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දීම පිළිබඳව දිගින් දිගටම සමාව ඉල්ලා සිටියේය.

Image caption මැතිවරණයේදී සිරිසේන අමාත්‍යවරයා නියෝජනය කරන්නේ බටහිර අධිරාජ්‍යවාදී, ප්‍රතිගාමී කඳවුර - ඇමති වාසු

18 වැනි ව්‍යවස්ථා සංශෝධනයට තමාද විරුද්ධ නමුත්, "කඳවුර ආරක්ෂා කරගැනීම පිණිස" එයට පක්ෂව ඡන්දය දීම පිළිබඳව කිසිදු කණගාටුවක් නොමැති බවයි අමාත්‍ය වාසුදේව නානායක්කාර සංදේශයේ සරෝජ් පතිරණ කළ විමසීමකදී කියා සිටියේ.

මැතිවරණයෙන් ජයග්‍රණය කිරීමෙන් අනතුරුව දින 60 ත්, 100 ත් අතර කාලයක් ඇතුලත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිණිස ජනාධිපති මහින්ද රාජපක්ෂට බලපෑම් කරන බවත් ඇමතිවරයා සඳහන් කළේය.

දින 100 ක් ඇතුලත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට විපක්ෂයේ පොදු අපේක්ෂකයාත් ප්‍රතිඥා දී තිබෙන්නේ නොවේ දැයි විමසූ විට අමාත්‍ය නානායක්කාර කියා සිටියේ හිටපු අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මේ වන විට සිටින්නේ 'ජනතාවාදී බලවේග සමඟ නොවන' බවයි.

මෛත්‍රීපාල සිරිසේන හිටපු අමාත්‍යවරයා පොදු අපේක්ෂකයා ලෙසින් ඉදිරිපත්වීම පිළිබඳව විමසීම පිණිස කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා ඇමතීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.

ජනාධිපතිවරණය ලබන ජනවාරි 08 වැනි දින පැවැත්වෙන බව මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.