"පොදු අපේක්ෂකයා පිටුපස ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්"

Image caption සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් පක්ෂය විනාශ කරන කුමන්ත්‍රණකරුවන් පිටුදැකීමට ක්‍රියා කළ යුතුයි - සුසිල් ප්‍රේම්ජයන්ත්

විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස හිටපු අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන පත් කිරීමේ තීරණය පිටු පස ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහ ලේකම්වරයා ලෙස පත්ව සිටින ඇමති අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රකාශ කරයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ යාපා ඇමතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකාව තුල ශක්තිමත් රාජ්‍ය පාලනයක් පැවතීම දැකීමට අසතුටු විදේශීය බලවේග මේ පිටුපස සිටින බවයි.

ඇමති නිමල් සිරිපාල ද සිල්වා අදහස් දහස් දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරුන් පක්ෂය අත හැර යාම අමුතු දෙයක් නොවන බවයි.

කුමන්ත්‍රණකරුවන්

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහා ලේකම් සුසිල් ප්‍රේමජයන්ත් අදහස් දක්වමින් කියා සිටියේ සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් පක්ෂය විනාශ කරන කුමන්ත්‍රණකරුවන් පිටුදැකීමට ක්‍රියා කළ යුතු බවයි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ පක්ෂය ජයග්‍රහණ රාශියක් අත් කර ගෙන ඇති බව සඳහන් කල එම ඇමතිවරු ඒවා ඇතැම් පිරිස්වලට අමතක වී ඇති බවට ද චෝදනා කළහ.