තවත් ඉන්දීය ධීවරයන් පිරිසක් අත්අඩංගුවේ

Image copyright Getty

ඉන්දීය ධීවරයින් 14 දෙනකු සහ ඔවුන්ගේ යාත්‍රා හතරක් ඉරිදා යාපනයේ ඩෙල්ෆ් දූපත ආසන්නයේදී අත් අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා නාවුක හමුදාව පවසයි.

එම ධීවරයන් පිරිස වැඩිදුර පරීක්ෂණ කටයුතු සදහා උතුරේ ධීවර පරීක්ෂකවරයා වෙත භාර දුන් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය බීබීසී සංදේශයට පැවසීය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන උතුරේ ධීවර සමීති නායකයෝ, අත්අඩංගුවට ගත් මෙම ඉන්දීය ධීවරයින් පිරිස ලබන සතිය වන විට නිදහස් කිරීමට ඉඩ තිබෙන නමුත් දැනට මාස ගණනක සිට ඉන්දීය අත් අඩංගුවේ සිටින ශ්‍රී ලංකාවේ උතුරේ දෙමළ ධීවරයින් තුන්දෙනා නිදහස් කිරීමට ඉන්දියාව මෙතෙක් පියවර ගෙන නොමැති බව පෙන්වා දෙති.

එම ධීවරයින්ට එරෙහිව ඉන්දියාව විසින් 'අසාධාරණ ලෙස' මත්ද්‍රව්‍ය චෝදනා ඉදිරිපත් කරමින් ඔවුන් තවදුරටත් රඳවා ගෙන සිටින බවයි උතුරේ ධීවර සමීති නායකයන් පවසන්නේ.

ප්‍රභාකරන්ගේ උපන් දිනය

මේ අතර යාපනය විශ්ව විද්‍යාලය තුළ කිසියම් පිරිසක් විසින් පෝස්ටර් අලවා ඇති බව යාපනය පොලිසිය පවසයි.

ලබන 26 සහ 27 යන දිනවලදී වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන් දිනය වන මහවිරු දිනය සැමරීමටත් සියලු දෙමළ ජනයාගේ සහයෝගය අවශ්‍ය බව එම පෝස්ටර්වල සඳහන්ව තිබිණ.