ජනාධිපතිවරණයට 'පාප් වහන්සේ යොදා ගන්න එපා'

ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ශුද්ධෝත්තම පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය යොදා නොගන්නා ලෙස කතෝලික සභාව සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කරයි.

‘අපිට තොරතුරු ලැබිලා තියනවා සමහර පෝස්ටර් ඇලවිලා තියනවා, කටවුට් තියනවා කියලා. තොරතුරු ලැබිලා තියනවා ඡායාරූපය යොදා ගෙන කටවුට් පෝස්ටර් නිර්මාණය කරලා තියනවා කියලා. අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ඒවා ඉවත් කරන්න කියලා’ යනුවෙන් ශ්‍රී ලංකා කතෝලික සංගමයේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා සංදේශයේ සරෝජ් පතිරණ සමග පැවසූහ.

සිය සභාව විසින් කරන ලද ඉල්ලීමට සදාචාර සම්පන්න ලෙස දේශපාලනයේ යෙදෙන සියලු පක්ෂ ගරු කරණු ඇතැයි තමා විශ්වාස කරන බවත් සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා කියා සිටියහ.

ජනාධිපතිවරණය ජනවාරි අට වනදා පැවැත්වීමට නියමිත අතර ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය යෙදී ඇත්තේ ඉන් දින පහකට පසු ජනවාරි දහතුන් වනදායි.

නමුත් ශුද්ධෝත්තම පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය ජනවාරි දහතුන් වනදා සැලසුම් කළ පරිදි සිදු වනු ඇති බවත් සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා පැවසූහ.

මැතිවරණයක් පැවැත්වෙන අවස්ථාවක හෝ ඉන් අනතුරු නුදුරු දිනක පාප් වහන්සේගේ සංචාරයක් යොදා ගැනීම සම්ප්‍රදාය බිඳ දැමීමක් නොවේදැයි යන්න සංදේශය විමසූ අවස්ථාවේ සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා කියා සිටියේ ශුද්ධෝත්තම පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරයට පෙර ජනාධිපතිවරණය යොදා ගන්නා ලෙස තමා ඉල්ලා සිටි බවයි.

‘ශුද්ධෝත්තම පාප් වහන්සේගේ සංචාරයෙන් පස්සේ කෙටි කාලයක් ඇතුළත මේක කරන්න එපා, මොකද පාප්තුමාගේ සංචාරය දේශපාලන වේදිකාවල ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගැනීමේ ප්‍රවණතාව වැඩි වෙන්න පුළුවන්. එක නිසා අපි ඉල්ලා හිටියේ පාප් වහන්සේගේ සංචාරයට ඉස්සෙල්ලා මැතිවරණය නිමා කරන්න කියලා’ යනුවෙන් කතෝලික සංගමයේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා වැඩි දුරටත් කියා සිටියහ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර