ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ජනපති පවුලේ ලිපිගොනු එලියට ගන්නවා - චන්ද්‍රිකා

විපක්ෂ සන්ධානය බලයට පත්වූ වහාම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ, සහෝදරයන්ගේ සහ පුතුන්ගේ 'ෆයිල්' එලියට ගන්නා බවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග අනතුරු අඟවයි.

හිටපු ජනාධිපතිනිය එසේ කියා සිටියේ, පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන සමඟ හොරගොල්ලේ බණ්ඩාරනායක සමාධියට පැමිණ පුෂ්පෝපහාර දැක්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ආණ්ඩුවෙන් ඉවත්ව ගිය පිරිසගේ දූෂණ වංචා සම්බන්ධ ලිපිගොනු තමන් සතුව තිබෙන නමුත් ඒ සම්බන්ධයෙන් ක්‍රියා නොකරන බවට ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය දිනෙක කළ ප්‍රකාශයක් පිළිබඳව මාධ්‍යවේදියෙක් මෛත්‍රීපාල සිරිසේන හිටපු අමාත්‍යවරයාගෙන් විමසීමක් කළ අවස්ථාවේදී එයට පිළිතුරු දුන්නේ හිටපු ජනාධිපතිනියයි.

තවත් මැති ඇමතිවරු පිරිසක් විරුද්ධ පක්ෂයට එක්වන බවට පළ වන වාර්තා පිළිබඳව අදහස් දැක්වූ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන: "දැන් සමහරු අහනවා කෝ එනවා කියපු අය කියල. මම කියනවා අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට වෙයි කියල," යනුවෙන් සඳහන් කළේය.

'ජාතික ආණ්ඩුවක්'

"හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට බලාගන්න පුලුවන්."

වැඩිදුරටත් අදහස් දැක්වූ මෛත්‍රීපාල සිරිසේන මන්ත්‍රීවරයා, බලයට පත්වූ වහාම විධායක ජනාධිපති ධුරයේ බලතල ඉවත්කර, රටට අවශ්‍ය සමාජ වෙනස් කම් ඇතිකර, දුෂිත ජන්ද ක්‍රමය ඉවත් කිරීමට මුලින්ම කටයුතු කරන බවට යලිත් වරක් ප්‍රතිඥා දුන්නේය.

තමන් ජයග්‍රහණය කළහොත් ජාතික ආණ්ඩුවක් පිහිටුවන බවත් ඔහු සඳහන් කළේය.

"අපි හදන ආණ්ඩුව සියලු දේශපාලන පක්ෂ වල එකතුවක්. ඒක එක පැත්තකින් ජාතික ආණ්ඩුවක් කියන්නත් පුළුවන්. සියලු දේශපාලන පක්ෂ වලට ආරාධනා කරනවා අපේ ආණ්ඩුවට එකතු වෙන්න කියල. අද මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ඉන්න මගේ මිත්‍ර ඇමතිවරුන්ටත් මම ආරාධනා කරනවා මම හදන ආණ්ඩුවට එන්න කියල," යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.