ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

තාම තීරණයක් නෑ, ඒත් ජ්‍යෙෂ්ඨයන් කලකිරීමෙන් - හිරුණිකා

එළැඹෙන ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මන්ත්‍රීවරයාට සහාය දීමේ තීරණයක් 'තවම නැති' නමුත් කලකිරුණු පාක්ෂිකයන් රඳවා ගැනීම පක්ෂ නායකත්වයේ වගකීම බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.

පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරිය ඒ බව කියා සිටියේ, ඇය විරුද්ධ පක්ෂයට එක්වීමට සැරසෙන බවට පලවන මාධ්‍ය වාර්තා පිළිබඳව බීබීසී සංදේශය විමසීමක් කළ අවස්ථාවේ.

තමා දැනට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකයකු බැවින් එහි නායක ජනාධිපති මහින්ද රාජපක්ෂට එළැඹෙන ජනපතිවරණයේදී සිය සහාය හිමි වන බවද ඇය කියා සිටියාය.

කෙසේ නමුත් පසුගියදා පාලක සන්ධානයෙන් ඉවත්ව ගිය මෛත්‍රීපාල සිරිසේන සහ රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරුන් යහපත් මිනිසුන් බව 'මම එහෙ ගියත්, මෙහෙ හිටියත් වෙනස් නොවන' බව ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය අවධාරණය කළාය.

බස්නාහිර ගම්මන්පිලට?

"මම දේශපාලනයට එන්න කලින් ඉඳන් මට උදවු කරපු අතලොස්සක් පිරිසගෙන් ප්‍රධාන තැනක් ගත්ත දෙන්නෙක් තමයි මෛත්‍රීපාල ඇමතිතුමා සහ රාජිත ඇමතිතුමා දෙන්නම," යනුවෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කියා සිටියේ සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

ඔවුන් දෙදෙනාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සාධාරණය ඉටු නොවූ බව පවසන බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරිය, කලකිරුණු තවත් ජ්‍යෙෂ්ඨයන් විශාල පිරිසක් පක්ෂය තුළ සිටින බවද සඳහන් කළාය.

"ඉස්සරහටත් ඒ කට්ටිය තියාගන්නවද, නැද්ද කියන එක පක්ෂයේ ඉන්න පාලකයන්ගේ, ප්‍රධානීන්ගේ තමයි හිතන්න ඕන," යනුවෙන් සඳහන් කළ ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය කලකිරුණු තරුණ පිරිස්ද "කොහොමහරි කරලා පක්ෂයේ ඇතුලේ රඳවා ගැනීම ඒ පාලකයන්ගේ යුතුකම," බව වැඩිදුරටත් කියා සිටියාය.

උදය ගම්මන්පිල හිටපු පළාත් සභා අමාත්‍යවරයා මහ ඇමති පදවියට පත්කරමින් බස්නාහිර පළාත් සභාවේ පාලනය විරුද්ධ පක්ෂයට නතුකර ගැනීමට දරෙන් උත්සාහයට සහාය දෙන්නේ දැයි විමසූ විට ඇය කියා සිටියේ ගම්මන්පිල හිටපු අමාත්‍යවරයාගේ ඇතැම් ප්‍රතිපත්ති සමඟ තමන්ට එකඟවිය නොහැකි බවයි.

"කොහොමත් මම විශ්වාස කරන්නේ නැහැ අනාගතේදී එහෙම දෙයක් වුනොත් පළාත් සභාව ඇතුලේ ලොකු පෙරලියක් කරන්න හැකියාවක් උදය ගම්මන්පිල ඇමතිතුමාට ඇති කියල," යනුවෙන්ද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය කියා සිටියාය.