‘මැතිවරණ කොමසාරිස් මතය වැරදියි’- ශ්‍රී ලංකා නීතිඥ සංගමය

Image copyright BASL
Image caption නීතිඥ උපුල් ජයසූරිය

ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සිදු කරනු ලබන නීති විරෝධී ප්‍රචාරක කටයුතු ,මුදල් ලබා දීම, සංග්‍රහ කිරීම් වැනි මැතිවරණ නීති උල්ලංඝනය කෙරෙන ක්‍රියාවන් වැළැක්වීමට මැතිවරණ කොමසාරිස්වරයාට ප්‍රමාණවත් බලතල තිබෙන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙයි.

සංගමයේ සභාපති නීතිවේදී උපුල් ජයසුරිය කොළඹ පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේ, ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සිදු කරනු ලබන නීති විරෝධී ‘කටවුට්’ ප්‍රදර්ශනය, ඡන්දදායකයින් කැඳවා සංග්‍රහ කිරීම, මුදල් ලබා දීම වැනි ක්‍රියා වැළැක්වීමට තමන්ට ප්‍රමාණවත් බලතල නොමැති බව මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කර ඇති නමුත් එය පිළිගත නොහැකි ප්‍රකාශයක් වන බවයි.

‘මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කර තිබෙනවා, 17 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම නිසා තමන්ට එවැනි නීති විරෝධී ක්‍රියා වැළැක්වීමට බලයක් නොමැති බව. ඒත් නීතිවේදීන් වශයෙන් අපට ඒ අදහස පිළිගන්න බැහැ. මන්ද ජනාධිපතිවරණ පනත අනුව එවැනි ක්‍රියා නීති විරෝධී කටයුතු හැටියටත් ඒවාට එරෙහිව නඩු පැවරිය හැකි බවත් දක්වා තිබෙනවා’ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිවේදී උපුල් ජයසූරිය කියා සිටියි.

මැතිවරණ අල්ලස්

දැනට බලාත්මක 18 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේත් එවැනි කටයුතු වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට මැතිවරණ කොමසාරිස්ට බලයක් ඇති බව පවසන ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා එවැනි නීති විරෝධී ක්‍රියාවන් සම්බන්ධයෙන් පියවර ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ද බලතල පවතින බවයි පෙන්වා දෙන්නේ.

‘අල්ලස් කොමිසමටත් මෙවැනි නීති විරෝධී ක්‍රියා වැළැක්වීමට බලතල තිබෙනවා. අපි බලා සිටිනවා, එම කොමිසම ගන්නා ක්‍රියා මාර්ගය දෙස. එම කොමිසම ප්‍රමාණවත් ක්‍රියා මාර්ගයක් නොගන්නේ නම් එහි නිලධාරීන්ට එරෙහිව පෞද්ගලික මට්ටමින් නඩු පැවරීමට ඉදිරියේ දී කටයුතු කරනවා’ නීතිඥ උපුල් ජයසූරිය කියා සිටියේය.

වත්මන් ජනාධිපතිවරයාට තුන් වන වතාවටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි බවට ඉකුත් දා ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කල මතය අඩංගු පිටපතක් ලබා දෙන මෙන් තම සංගමය විසින් කරණ ලද ඉල්ලීමට එම අධිකරණයෙන් තවමත් ප්‍රතිචාරයක් ලැබී නැති බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව

ශ්‍රේෂ්ෂ්ඨාධිකරණයේ මතය බව සඳහන් පිටපතක් මේ වන විට ඇතැම් ජන මාධ්‍යවල පළ කර ඇති බව සඳහන් කළ නීතිඥ උපුල් ජයසූරිය එය පිරික්සීමේ දී දැඩි සැකයක් මතු වන බවයි පවසන්නේ.

‘එම ලේඛනයේ අත්සන් වගයක් දකින්න තිබෙනවා. එහෙත් එම පිටපතේ අන්තර්ගත කරුණු පරික්ෂා කළ විට ඒවා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන්ගේ අදහස් ද එසේත් නැත්නම් ඒවා දේශපාලකයකුගේ අදහස් ද යන සැකය අප තුළ මතු වී තිබෙනවා’ තිබෙනවා’ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා කියා සිටී.

මතු වී ඇති සැක දුරු කර ගැනීමට අදාළ තීන්දුවේ පිටපතක් ලබා දෙන මෙන් ඉල්ලා සිටියත් ශ්‍රේෂ්ඨාධිකරණය මේ දක්වා සිය ඉල්ලීමට ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි ඔහු පවසන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර