උදයන් මුල් පිටුවේ ප්‍රභාකරන්

යාපනයේ පලවන උදයන් පුවත්පතේ මුල් පිටුවේ ප්‍රභාකරන්ගේ ඡායාරූපය සහිතව උපන්දින සුබපැතුමක් පල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රහස් පොලීසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.

මේ පිළිබඳව බීබීසීය කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ එවැනි සිද්ධියක් නිවැරදිව ඔප්පු වුවහොත් අදාල අයට දැඩි දඩුවම් ලබා දෙන බවයි.

එම පුවත්පත බලමින් සිටි යාපනයේ සාමාන්‍ය වැසියෙකුට සිවිල් ඇදුමින් සැරසුන පුද්ගලයෙක් පහර දී ඇති බවටද තොරතුරු වාර්තා වන නමුත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පොලිසියකට පමිණිලි ලැබී නොමැත.

මේ පිළිබඳව ප්‍රතිචාරයක් ලබා ගැනීම සඳහා උදයන් පුවත් පතේ කතුවරයා ඇමතීමට ගත් උත්සාහය අසාර්ථක වී තිබේ.

යාපනය විශ්ව විද්‍යාලය

මේ අතර යාපනය විශ්ව විද්‍යාලයට 26 සහ 27 යන දින දෙක නිවාඩු ලබාදී එහි සියලුම ශිෂ්‍යයින්ට විශ්ව විද්‍යාල භූමියෙන් ඉවත්ව යන ලෙස පාලන අධිකාරිය නියෝග කොට තිබේ.

ශිෂ්‍ය සංගම් නියෝජිතයෝ පවසන්නේ යාපනය විශ්වවිද්‍යාලය තුළ 26 සහ 27 යන දිනවල එල්.ටී.ටී.ඊ.යේ හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන්දිනය සැමරීමටත් මහවිරු දිනය සැමරීමටත් සූදානම් වන බවට ආරක්ෂක අංශ වලට ලැබුණු තොරතුරක් මත ඉහලින් ලද නියෝගයක් මත මේ දින දෙක නිවාඩු ලබාදී ඇති බවයි.

යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමයේ ප්‍රකාශකයෙකු කියා සිටියේ විශ්වවිද්‍යාල සිසුන්ගේ ආරක්ෂාව වෙණුවෙන් පාලන අධිකාරිය නිවාඩු දීමට තීරණය කොට ඇති බවයි.

දැනට දින කීපයක සිට යුදහමුදා සේනාංක සහ පොලීසිය යාපනය විශ්ව විද්‍යාලය අවට දැඩි රැකවල් යොදා ඇති අතර යාපනයේ ඉහල ගොඩනැගිලිවල සිට විශ්වවිද්‍යාලය තුළ සිදුවන දෑ නිරීක්ෂණය කිරීම නිසා සිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගත් වබ කී ඔහු දැනට දින කීපයකට ඉහතදී එක් ආචාර්ය වරයෙකුගේ සහ සිසුන් පස්දෙනෙකුගේ නම් සදහන් කරමින් ඔවුන්ට කිසියම් පිරිසක් විසින් මරණීය තර්ජන එල්ල කිරීමද නිවාඩු ලබාදීමට හේතු වූ බව පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර