ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

‘ආණ්ඩුවේ මුස්ලිම් නායකයන්ට ඡන්ද නැහැ’-අසාද් සාලි

මෙවර ජනාධිපතිවරණයේ දී බලයේ සිටින ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් කිරීම සඳහා පොදු අපේක්ෂකයකු නම් කර ගනු ලැබීමේ කාර්යය ඉතා දුෂ්කර දීර්ඝ අරගලයක් වූ බව ජාතික සමගි පෙරමුණේ නායක, මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අසාද් සාලි පවසයි.

ඔහු එම අදහස පළ කළේ ලන්ඩනයේ සංචාරයක නිරත වෙමින් සිටින අතරවාරයේ බීබීසිය සමඟ පැවැත්වූ විශේෂ සාකච්ඡාවක දී.

පොදු අපේක්ෂකයා හැටියට ප්‍රබල මෙන් ම පිරිසිදු දේශපාලන චරිතයක් අවසානයේ දී තෝරා ගනු ලැබුණ බවයි පළාත් සභා මන්ත්‍රී අසාද් සාලි කියා සිටියේ.

‘අපේ පළමු උවමනාව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම. දෙවැන්න, ජනාධිපතිවරණයෙන් අනතුරුව මහජනතාවට ප්‍රදානය කරනු ලබන වැඩ පිළිවෙළ අපි දැන් කෙටුම්පත් කරමිනුයි සිටින්නේ. තුන්වෙනුව, මැතිවරණ අල්ලස් සහ මානව හිමිකම් ඇතුළු කොමිසන් සභා ක්‍රියාවට නැංවීමට පියවර ගැනීම’ අසාද් සාලි පවසයි.

එම කොමිසන් සභා පණ ගැන්වීමත් සමඟ කිසිදු දේශපාලන ඇඟිලි ගැසීමකින් තොරව යහපාලනයක් පවත්වා ගත හැකි වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

එහෙත් ආණ්ඩුව දැනටමත් ඊට එරෙහිව ප්‍රචාරක යුද්ධයක් ආරම්භ කරනු ලැබ ඇති බවත් පළාත් සභා මන්ත්‍රීවරයා පවසයි.

‘ඕනෑම මැතිවරණයක් එන විට ආණ්ඩුව පාවිච්චි කරන වචන හතරක් තියෙනවා. ඩයස්පෝරාව, එන්.ජී.ඕ, විදේශ බලවේග සහ කොන්ත්‍රාත්කරුවා යන වචන හතර. දැන් මහජනයාට ඒ වචන අහල ඇති වෙලා. මිනිස්සු ඒවා දැන් පිළිගන්නේ නැහැ’ අසාද් සාලි පවසයි.

දින සීයේ ප්‍රතිඥාව

විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා ප්‍රතිඥා දෙන ආකාරයට දවස් සීයකින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කෙරෙන යාන්ත්‍රනය කුමක්දැයි ප්‍රශ්න කළ විට පළාත් සභා මන්ත්‍රී අසාද් සාලි කියා සිටියේ, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ද සහයෝගය ලබා ගනිමින් තුනෙන් දෙකක ඡන්දයෙන් හෝ මෙම පාර්ලිමේන්තුව විසුරුවා හැර නව පාර්ලිමේන්තුවක් යටතේ හෝ එම පියවර ගනු ලබන බවයි.

පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කළ හොත් ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් අනුගමනය කරන පිළිවෙත ප්‍රශ්න කළ විට ඊට පිළිතුරු දුන් ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි, නීතිගත කරනු ලැබ ඇති දහතුන් වෙනි සංශෝධනයෙන් පිට පැනීමට නො හැකි බවයි සඳහන් කළේ.

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව මෙම ජනාධිපතිවරණයේ දී ගනු ලබන දේශපාලන තීන්දුව දැනටමත් ගෙන අවසන් බවයි ඔහු පවසන්නේ.

එහෙත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු සෙසු ප්‍රධාන පෙළේ මුස්ලිම් දේශපාලන නායකයන් ආණ්ඩුවට සහයෝගය දෙනවා නොවේදැයි බීබීසිය ප්‍රශ්න කළ විට අසාද් සාලි ප්‍රකාශ කළේ එම නායකයන්ට ඡන්ද පදනමක් නොමැති බවයි.

බොදු බල සේනා සංවිධානය ජනාධිපතිවරයාට සහයෝගය දීමට ගත් තීන්දුව සුළු ජාතික සහ සුළු ආගමික කොටස් පමණක් නොව සිංහල බෞද්ධ ජනතාව පවා අසීරු තත්වයකට පත් කරවන්නක් බවයි ඔහුගේ ඇස්තමේන්තු කිරීම වුණේ.