‘විපක්ෂයට දැන් පැටලිලා’ - ජී.එල්.පීරිස්

Image copyright webtv.un.org

විරුද්ධ පක්ෂය මෙම ජනාධිපතිවරණයේ දී පළ කරන අදහස් පරස්පර ඒවා යයි විදේශ ඇමති ජී.එල්.පීරිස් පෙන්වා දෙයි.

ඇමතිවරයා එම අදහස් පළ කළේ කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැත්වුන මාධ්‍ය හමුවකදී.

‘විපක්ෂයේ අදහස්වල කිසිදු ප්‍රත්‍යක්‍ෂභාවයක් නැහැ. පැහැදිලි කමක් නැහැ. ඔවුන්ගේ මත දවසින් දවසට වෙනස් වෙනවා’ විදේශ ඇමතිවරයා පවසයි.

විපක්ෂ වැඩ පිළිවෙලේ ප්‍රධාන අභිලාෂය වී තිබුණේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු ලැබීම යයි සඳහන් කළ විදේශ ඇමති ජී.එල්.පීරිස්, දැන් විපක්‍ෂය මාධ්‍යවලට කරන ප්‍රකාශන වල හැටියට ඔවුන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකරන බවක් පෙන්නුම් කෙරෙන හෙයින් ඔවුන්ගේ මූලික පදනමේ පවා වෙනසක් සිදු වී ඇති බවයි පවසන්නේ.

‘විපක්ෂයේ දැන් ප්‍රතිපත්තිය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම නොවෙයි. ජනාධිපතිතුමා අමාත්‍යාංශ තබා ගැනීම ප්‍රතික්‍ෂේප කළ යුතු දෙයක් වන බව ඔවුන් පුන පුනා කියපු දෙයක්. ඒත් දැන් කියනවා, සිරිසේන යටතේ සමහර අමාත්‍යාංශ තියා ගන්න බවක්. විධායක ජනාධිපති ධූරය අහෝසි නොකරනවා පමණක් නොවෙයි, අමාත්‍ය ධූරත් එතුමා යටතේ තියා ගන්නවා’ වැඩිදුරටත් අදහස් දැක්වූ ජී.එල්.පීරිස් ඇමතිවරයා සඳහන් කළේය.

ව්‍යවස්ථාවට පටහැණියි

විපක්ෂය සිදු කරන බව කියන වෙනස්කම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සිදු කළ නොහැකි බවත් ඇමතිවරයා පවසයි.

ශ්‍රී ලංකාවේ ඉරණම තීන්දු කරනු ලැබීම විදේශ රටවලට භාර දීම සිදු කළ නොහැකි යයි සඳහන් කළ ජී.එල්.පීරිස් ඇමතිවරයා, ජිනීවා නගරයේ දී මතු වෙන ප්‍රශ්න ඔවුන් ඉල්ලා සිටින දේවල් දීම මගින් ඉක්මනින් විසඳා ගත හැකි නමුත් දේශපාලන නායකයන් සහ රණවිරුවන් අනතුරට හෙළන එම පියවර නො ගන්නා බවයි කියා සිටියේ.

එසේම ජිනීවා මානව හිමිකම් කොමිසම ඉදිරියේ ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනා ඉදිරිපත් වූ අවස්ථාවන්හි තම ආණ්ඩුව අනුගමනය කරන විදේශ ප්‍රතිපත්තිය නිසා ආසියානු සහ අප්‍රිකානු රටවල් ශ්‍රී ලංකාවට සහයෝගය දුන් බවත් ඔහු සඳහන් කළේය.

ඉහත කී මාධ්‍ය හමුවට සහභාගී වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහලේකම් ඛනිජ තෙල් ඇමති අනුර ප්‍රියදර්ශන යාපා කියා සිටියේ, වෙළෙඳපොළ තත්වයන් සලකා බලමින් ඛනිජ තෙල් මිල අඩු කිරීමට අවධානය යොමු කරන බවයි.

ආණ්ඩුව පසුගිය දා තෙල් මිළ අඩු කළ අතර ඡන්දය අනුව නොව වෙළෙඳපොළේ මිළ තීන්දු කෙරෙන මට්ටම අනුව එහි වාසිය පාරිභෝගිකයාට ලබා දෙන බවයි ඇමතිවරයා පවසන්නේ.