බෞද්ධ සමාජය පොදු අපේක්ෂකයා සමගයි - රතන හිමි

ශ්‍රී ලංකාවේ බෞද්ධ බලවේගය පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන සමග එක් වීම ඉදිරි මැතිවරණ ක්‍රියාදාමය තුළ සියළු දෙනාට දැක ගත හැකි බව ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් පවසයි.

අද කොළඹදී පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන සහභාගිවූ පොදු විපක්ෂයේ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනුයි රතන හිමියන් මෙම අදහස් පළ කලේ.

බොදු බල සේනා සංවිධානය ජනාධිපති මහින්ද රාජපක්ෂට සහාය දීමට ගත් තීරණය පිළිබඳව බිබිසිය යොමු කළ ප්‍රශ්නයකට පිළිතරු දෙමින් රතන හිමියන් පැවසුවේ කුමන සංවිධාන කාට සහය පළ කළත් ශ්‍රී ලංකාවේ බෞද්ධ සමාජය තම ව්‍යාපාරය සමග පෙළ ගැසෙනු ඇති බවයි.

" සමාජ ආර්ථික ප්‍රශ්න සම්බන්ධයෙන් බෞධයන්ගේ නැගිටීමක් ඉතිහාසයේම තිබුනා. ඒ නිසා ඉදිරියේදී දැකගන්න පුළුවන් බෞද්ධ සමාජය මේ කරණයේදී ඉදිරියට එන්නේ කියලා" යනුවෙන් උන්වහන්සේ පැවසුවේය.

බොදු බල සේනාව වැනි සංවිධානවලට තමන් කැමති කෙනෙකුට සාහය දීමට අයිතියක් ඇති බව පැවසූ අතුරලියේ රතන හිමියන් ඔවුන් ජනාධිපති මහින්ද රාජපක්ෂට සහායදීම එතරම් ගැටළුවක් නොවන බවයි පැවසුවේ.

ජාතික හෙළ උරුමය ඉදිරි දින කිහිපයේදී පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන සමග සම්මුතියක් ඇති කරගැනීමට නියමිත බවයි රතන හිමියන් කියා සිටියේ.

" විශේෂයෙන්ම අපට අවශ්‍යවන්නේ අධිකරණ ස්වාධිනත්වය, පාර්ලිමේන්තුවේ ස්වාධිනත්වය වැනි කරුණු ගැන සම්මුතියක්, එක ගැන අපි ඉදිරියට කියන්නම්"

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර