ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ෆයිල් කතාව මෝඩ කතාවක් - නවීන් දිසානායක

පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක රාජ්‍ය කළමනාකරණ හා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරයෙන් හා ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කරයි.

සිය ඡන්ද දායකයන් වෙනුවෙන් කටයුතු කිරීම සඳහා රාජ්‍ය අනුග්‍රහය නොලැබීම, විධායක ජනාධිපති ධුරය ඉවත් නොකිරීම සහ විශාල වශයෙන් රට තුළ දූෂණ සහ අක්‍රමිකතා සිදුවීම මත තමා ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක පැවසුවේය.

‘මේ රටේ දේශප්‍රේමීන් හොරුන් නොවෙයි. ඔය දේශප්‍රේමීන් කියලා රඟපාන කට්ටිය ඇත්ත වශයෙන්ම විශාල මුදල් හොරකම් කරනවා’ යනුවෙන් නවීන් දිසානායක මන්ත්‍රීවරයා පැවසුවේ සංදේශයේ සුනෙත් පෙරේරා සමග සාකච්ඡාවකට එක් වෙමින්.

දේශපාලනඥයන් සම්බන්ධ රහස්‍ය ලිපි ගොනු සම්බන්ධයෙන්ද නවීන් දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අදහස් දැක්වීය.

ෆයිල්

‘ ඇත්ත වශයෙන්ම ඔය ෆයිල් කතාවත් හරිම මෝඩ කතාවක්නේ. ෆයිල් තියනවනම් ඇයි ඒවා තියාගන ඉන්නේ. ඒවා තියාගන ඉන්නේ, ඉන්න මන්ත්‍රීවරුන්ව බිල්ලට වගේ තියාගන ඉන්න’ යනුවෙන් නවීන් දිසානායක මන්ත්‍රීවරයා පැවසීය.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් තම පියා ගාමිණී දිසානායක පෙනී සිටි බව සිහිපත් කළ නවීන් දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා, එම ධුරය අහෝසි නොකොට තෙවන වරටත් ජනාධිපති මහින්ද රාජපක්ෂ තරඟ කිරීම ජනතාව ප්‍රශ්න කරන බවත් සඳහන් කළේය.

‘මේ ජනාධිපති ක්‍රමයේ අපි දකිනවා යම් කිසි වියරුවක්. යම් කිසි අඩුපාඩුවක්. ජනාධිපති ක්‍රමය අහෝසි කරනවට දැන් ඔක්කොම කැමතියි. ඒ බලවේග සමග එකතු වීම මගේ පියාටත්, මගේ හදවතටත්, මගේ ඔලුවටත් කරන සාධාරණයක් කියලා මම හිතනවා’ යනුවෙන් ඔහු පැවසුවේය.

මේ අතර ආණ්ඩුවෙන් ඉවත් වීමට ගත් තීරණයත් සමග තමාගේ පෞද්ගලික ආරක්ෂාව සම්බන්ධයෙන් ගැට‍ළු මතු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක ප්‍රකාශ කළේය.

තමා ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයට එකතු වීමට බලාපොරොත්තු වන බවත් නුවරඑලිය දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක වැඩි දුරටත් පැවසුවේය.