එල්ටීටීඊ ත්‍රස්තවාදී සංවිධානයක් -කුෂ්බු

එල්ටීටීඊ දෙමළ කොටි සංවිධානය, ත්‍රස්තවාදී සංවිධානයක් බව දකුණු ඉන්දීය සිනමාවේ සුප්‍රසිද්ධ නිළියක වන කුෂ්බු විසින් ප්‍රකාශ කරනු ලැබීමෙන් අනතුරුව සමාජ වෙබ් අඩවි හරහා ඇය දැඩි විවේචනයට ලක් වී තිබේ.

දකුණු ඉන්දීය සිනමාවේ තාරකාවක් වූ කුෂ්බු ඉන්දීය කොන්ග්‍රස් පක්ෂයට එක් වීම වෙනුවෙන් පැවති මාධ්‍ය හමුවකදීයි ඇය මෙම ප්‍රකාශය කර ඇත්තේ.

මෙම මාධ්‍ය හමුව අමතමින් ජනප්‍රිය නිලි කුෂ්බු කියා සිටියේ ඉන්දීය කොන්ග්‍රස් පක්ෂය ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාට එරෙහි පක්ෂයක් ලෙස වැරදි ප්‍රතිරූපයක් ඇති කරවන මාධ්‍ය වාර්තා පළ වන අතර එය අසත්‍යයක් බවයි.

අවසන් හුස්ම දක්වා

‘කොන්ග්‍රස් පක්ෂය කවදාවත් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට එරෙහි වී සිටියේ නැහැ. අපි විරුද්ධ වී සිටියේ ත්‍රස්තවාදයටයි. ඒ වගේම අපේ අවසන් හුස්ම දක්වාම අපි ත්‍රස්තවාදයට එරෙහිව සටන් කරනවා.’ ඉන්දීය කොන්ග්‍රස් පක්ෂයට එක් වූ කුෂ්බු පැවසුවාය.

ඇය මෙම ප්‍රකාශය කරන අතරවාරයේ එක් මාධ්‍යවේදියෙකු හරස් ප්‍රශ්නයක් මතු කරමින්, එල්ටීටීඊ ය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ඔබ හඳුන්වන්නේ දැයි විමසා සිටියේය.

‘ඔව්. අනිවාර්යයෙන්ම. අහිංසක මිනිසෙකුගේ ජීවිතයක් ලබා ගන්නා ඕනෑම කෙනෙක් වේනම් ඔහු අනිවාර්යයෙන්ම ත්‍රස්තවාදියෙක්.’ මාධ්‍යවේදියාට පිළිතුරු දෙමින් කුෂ්බු කියා සිටියාය.

මෙම ප්‍රකාශය නිසා දකුණු ඉන්දීය නිලි කුෂ්බු ඇතැම් දකුණු ඉන්දියානුවන්ගේ උදහසට ලක් වී ඇති අතර අන්තර්ජාලයේ සමාජ වෙබ් අඩවි හරහා ඇයට දැඩි විවේචන එල්ල වෙමින් පවතී.

1980 අග භාගයේ පටන් වසර ගණනාවක්ම දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි තාරකාව වූ කුෂ්බු මේ වන විට ක්‍රියාකාරී දේශපාලනයට පිවිස ඇති අතර ඉන්දීය කොන්ග්‍රස් පක්ෂයට එක් වූයේ දේශපාලන පිල් මාරු කිහිපයකින් අනතුරුවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර