ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

‘එදා රට නොවෙයි අද තියෙන්නේ’- ජනාධිපති

ලෝකයේ වෙනත් රටවලට, බටහිර රටවලට අවශ්‍ය ආකාරයට තමන් පඹයන් ලෙස නටවන්නට හෝ යටත් කර ගන්නට ඉඩ නොදෙන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියි.

ජනාධිපතිවරයා එම අදහස පළ කළේ අරලිය ගහ මන්දිරයේ දී සමථ මණ්ඩල සාමාජිකයන්ගේ නියෝජිතයන් පිරිසක් අමතමින්.

ලෝකයේ දේශපාලන අස්ථාවර භාවය සහිත රටවල් දෙසටත් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ අවධානය යොමු වුණි.

‘අපි දන්නවා අද මැද පෙරදිග පවතින තත්වය. ඉරාකය ලිබියාව ඊජිප්තුව ඇෆ්ඝනිස්තානය පකිස්තානය මේ රටවල් වල ඇති වූ තත්වය දෙස බලන විට පෙනී යන්නේ රටක් ඒ වගේ තත්වයකට වැටුනම ඒ රට වැටෙනවා මිසක් ගොඩ නො නැගෙන බව. රටකට ස්ථාවරයක් තියෙන්න ඕන’ ජනාධිපතිවරයා කියා සිටියි.

දැන් රට දියුණුයි

රටේ බිහි වෙන තරුණ ප්‍රජාවේ අනාගතය සම්බන්ධයෙන් අප අවධානය යොමු විය යුතු බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ සමථ මණ්ඩල නියෝජිතයන් හමුවේ කියා සිටියේය.

අනාගත තරුණ පරපුරේ අභිවෘද්ධියට මග සලසන අධ්‍යාපන වැඩ සටහනක් පෙරට යමින් පවතින බව සඳහන් කල ජනාධිපතිවරයා මහින්දෝදය විද්‍යා අධ්‍යාපන ව්‍යාපෘතිය තරුණ පරපුරට අවශ්‍ය තාක්ෂනඥානය දායාද කිරීමේ සැලැස්මක් බවයි කියා සිටියේ.

ශ්‍රී ලංකාව තුළ දැනට සිදු වී ඇති සංවර්ධනය ගැනත් ජනාධිපතිවරයා අදහස් පළ කළේය.

රට තුල යටිතල පහසුකම් මෙන් ම ජීවන තත්වයේත් වෙනසක් සිදුව ඇති බවයි ජනාධිපති මහින්ද රාජපක්ෂ පෙන්වා දෙන්නේ.