ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මෛත්‍රී ගිවිසුමට දේශපාලන පක්ෂ සහ සංවිධාන 36ක්

පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන, 'සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදී සහ ජනහිතකාමි ආණ්ඩුකරණයක්' සඳහා පොදු මහජන න්‍යාය පත්‍රය යන තේමාව යටතේ තමාට සහාය පළ කරන සෙසු දේශපාලන පක්ෂ හා සංවිධාන සමග විශේෂ අවබෝධතා ගිවිසුමකට අද(01)කොළඹදී අත්සන් තැබුවේය.

දැනට පවතින විධායක ජනාධිපති ධුරය අහෝසිකොට ජනතාවට වගකියන පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් දින සීයක් ඇතුළත ස්ථාපිත කිරීම, 18 වන සංශෝධනය අහෝසිකොට ස්වාධින කොමිෂන් සභා ස්ථාපිත කරමින් පොලිසිය,අධිකරණය,මැතිවරණ දෙපාර්තමේන්තුව වැනි ආයතනවල ස්වාධීනත්වය තහවුරු කිරීම, මානප ක්‍රමය සහමුළින්ම අහෝසි කොට පැරණි මන්ත්‍රී ආසන ක්‍රමයේ හා සමානුපාතික ක්‍රමයේ සම්මිශ්‍රනයෙන් නව මැතිවරණ ක්‍රමයක් හදුන්වාදීම හා ජනතාවගේ ආර්ථික බර සැහැල්ලු කිරීම ක්ෂණිකව ඉටු කිරීම යන කාරණා හතරක් අත්සන් කෙරුණ නව ගිවිසුමටඇතුළත්වෙයි.

කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේදී පැවැත්වුණු එම උත්සවයට සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති මාදුළුවාවේ සෝභිත නා හිමි ,විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ,හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග,ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා ඇතළු විපක්ෂයේ නායකයන් රැසක් එක්ව සිටියහ.

ඒ අතරම සිවිල් සමාජ සංවිධාන රැසක්ද පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේනට සහය පළකරමින් අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුහ.

එම අවස්ථාවේ අදහස් දැක් වූ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ලංකාව නැවත වතාවක් සමාජ සාධාරණත්වය රජයන ආදර්ශමත් ප්‍රජාතන්ත්‍රවාදී රටක් බවට පත්කරන බවට ප්‍රතිඥාවක් දුන් අතර සියළු දෙනා තමන් කෙරෙහි තබා ඇති විශ්වාසය අංශු මාත්‍රයකින් හෝ පළුදු නොකර කටයුතු කරන බවයි කියා සිටියේ.

ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව සියළු පක්ෂ එක්ව වසර දෙකකට නො අඩු කාලයක් සර්ව පාක්‍ෂික රජයක් පිහිටුවිය යුතු බවද ගිවිසුමේ සදහන් වේ.

එහි සදහන් වන ආකාරයට අළුතින් ඇතිකරන පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයේ නායකත්වය දරන්නේ ජනාධිපතිවරයා විසිනි.

ඒ සදහා ඔහුට උචිත බලතල ලබා දීමට ජනාධිපති ධුරය රටේ ජාතික සමගියේ ප්‍රතිමුර්තියක් ලෙස ස්ථාපිත කිරීමටද එම ගිවිසුමෙන් යෝජනා කොට ඇත.