ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ඌව කල් යාම: සීතලයි - හරීන්, වැස්ස - සෙන්දිල්

පවතින ශීතල කාලගුණය හේතුවෙන් ඌව පළාත් සභාව ජනවාරියට කල් තැබූ බවට හරීන් ප්‍රනාන්දු චෝදනා කරද්දී සෙන්දිල් තොණ්ඩමන් කියා සිටියේ පවතින දැඩි වර්ෂාව හේතුවෙන් සභාව කල් තැබූ බවයි.

අයහපත් කාලගුණය හේතුවෙන් ඌව පළාත් සභාව රැස්‌වීම ලබන වසරේ ජනවාරි මස පහළොස් වනදා දක්‌වා කල් තැබීමට තීරණය කිරීමත් සමග ඌව පළාත් සභාවේ විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු ශීත කබායකින් සැරසී කොළඹ පැවති එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය සාකච්ඡාවට පැමිණියේය.

‘මේ ජැකට් දාගෙන අවේ පළාත් සභාව පවත්වන්න බැරි තරමට ඌව පළාතේ සීතලක් හටගන තියනවා. මේ බොරු තර්ක ඉදිරිපත් කරන්නේ, හෙට අනිද්දා ලංකාවේ සමහර පළාත් සභා රස්නෙයි කියලා වගන්න ඉඩ තියනවා’ යනුවෙන් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කියා සිටියේය.

ජනතාව වෙනුවෙන් වැඩ කිරීමට ඇති පළාත් සභාවක් කාලගුණික හේතුන් මත වසා දැමීම හරහා පෙන්නුම් කරන්නේ එම පළාත් සභාව තුළ ජනතා නියෝජනයක් නැති බව යැයි ඌව පළාත් සභාවේ විපක්ෂ නායකවරයා පැවසුවේය.

පළාත් සභා කිහිපයක බහුතර බලය ආණ්ඩුවෙන් ගිලිහිය හැකි බවට පසු ගියදා මාධ්‍ය වාර්තා පළ විය.

එම ලැයිස්තුවට ඌව පළාත් සභාවද ඇතුළුත්.

පිල් මාරුවක්?

මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඌව පළාත් සභාවේ විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේ මීළඟ සතිය වන විට විට ඌව පළාත් සභාව තුළ විශාල පෙරළියක් සිදු වනු ඇති බවයි.

‘පසුගිය අයවැය ඡන්දෙදි විපක්ෂයට ඡන්ද පහළොවකුත් ආණ්ඩු පක්ෂයට ඡන්ද දහ අටකුයි ලැබුණේ. යම් හෙයකින් තුන් දෙනෙක් එහා මෙහා වුනොත් අපට දහ අටකුත් ආණ්ඩුවට පහළොව දක්වා අඩු වෙනවා. විශාලම බලපෑම ආණ්ඩුවට තියෙන්නේ ඌව පළාත් සභාව තුළ’ යනුවෙන් ඌව පළාත් සභාවේ විපක්ෂ නායකවරයා කියා සිටියේය.

ශීතල කාලගුණය හේතුවෙන් සභාව රැස්වීම කල් තැබුවේ දැයි ඌව පළාත් සභාවේ සෙන්දිල් තොණ්ඩමන් අමාත්‍යවරයාගෙන් සංදේශය විමසූ විට ඔහු කියා සිටියේ පවතින වර්ෂාව හා නාය යෑම් හේතුවෙන් සභාව කල් තැබූ බවයි.

වැස්සෙන් පස්සේ

‘අපි ජනවාරි මාසයේ වැස්ස අඩු වුනාට පස්සේ පළාත් සභාව තියමු. දැන් අපිට හදිස්සියේ ප්‍රශ්නයක් තියනවා වතු ඔක්කොම නාය යනවා.ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියනවා.අපි කැමතියි ඒ තැන්වල ඉදන් මහජනතාවත් එක්ක වැඩ කරන්න. ඒ නිසා අපි ඉල්ලීමක් කළා මහ ඇමතිතුමාට’ යනුවෙන් ඌව පළාත් සභා අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන් පැවසුවේය.

ඌව පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් විපක්ෂය හා එක් වන බව පළාත් සභාවේ විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු පවසනමුත් එවැන්නක් සිදු නොවනු ඇති බව ඌව පළාත් සභා අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන් කියා සිටියේය.

මේ අතර නැගෙනහිර පළාත් සභාවේ උද්ඝෝෂණයක් හට ගෙන තිබේ.

මේ මස පළමු වනදා සිට පස් වනදා දක්වා විවාදයට ගැනීමට තිබූ පළාත් සභා අයවැය විවාදය ජනවාරි මස දොළොස් වනදා දක්වා කල් තැබීමට ගත් තීරණයට විරෝධය පළ කර එක්සත් ජාතික පක්ෂය උද්ඝෝෂණය කළේය.