ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

‘තෙන්නකෝන්ගෙන් අහන්න’- නිමල් සිරිපාල

කුඩු සහ එතනෝල් වලට සම්බන්ධ පුද්ගලයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින බව ඔප්පු කළොත් ඔවුන් වහාම පක්ෂයෙන් නෙරපන බව ඩලස් අලහප්පෙරුම ඇමතිවරයා පවසයි.

එවැනි චෝදනා ඉදිරිපත් කරන පුද්ගලයන් ඒවා සාක්ෂි සහිතව ඉදිරිපත් කළ යුතු බවයි ඇමතිවරයා පවසන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එතනෝල් කාරයන්ට සහ කුඩු කාරයන්ට යට වී ඇති බවට අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් පසුගිය දා පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද(03) කොළඹ පැවති මාධ්‍ය හමුවක දී බීබීසිය කළ විමසුමකට පිළිතුරු දෙමිනුයි අමාත්‍යවරයා එම අදහස් පළ කළේ.

‘ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමතිතුමා ප්‍රකාශ කළේ එතනෝල් සහ කුඩු ව්‍යාපාරයට සම්බන්ධ අය ඇවිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරනවා කියලයි. එහෙම නැතිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානත්වය අරන් ඉන්නේ ඒ වගේ අය කියලා නොවෙයි’ ඩලස් අලහප්පෙරුම ඇමතිවරයා විග්‍රහ කරයි.

කුඩු සහ එතනෝල් වලට සම්බන්ධ පුද්ගලයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ඉන්නවා කියලා ඔප්පු කළොත් අපි ඔවුන් පක්ෂයෙන් ඉවත් කරනවා’ ඇමතිවරයා කියා සිටියේය.

එම අවස්ථාවේ මාධ්‍යවේදියෙක් ‘ආණ්ඩුව තුළ කුඩු සහ එතනෝල් කාරයන් සිටින’ බවට අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් කරන ප්‍රකාශය අසත්‍යයක් දැයි ඩලස් අලහප්පෙරුම ඇමතිවරයාගෙන් විමසීමක් කළේය.

‘ජනක බණ්ඩාර තෙන්නකෝන් කියන්නේ අපේ පක්ෂයේ ඉන්න බොහොම ජ්‍යෙෂ්ඨ ඒ වගේම යහපත් මනුස්සයෙක්, එතුමා බොරු කියනවා කියලා තමුන්නාන්සේ මම වෙන තැනකට ගෙන යන්න තැත් කරන්න එපා. දේශපාලන වේදිකාවට ගොඩ වන කවුරුත් විවිධ පුද්ගලයන් අරභයා විවිධ ප්‍රකාශ නිකුත් කරනවා.ඒවාට එක එක අර්ථ නිරූපන දෙනවා’ ඇමතිවරයා පිළිතුරු දුන්නේය.

දේශපාලන ලෝකය හා මාධ්‍ය ලෝකය ඇතුළු සෙසු සැම තැනකමත් කුඩුකාරයන් සිටිය හැකි බවයි අමාත්‍ය ඩලස් අලහප්පෙරුම වැඩි දුරටත් සඳහන් කළේ.

ඉහත කී මාධ්‍ය හමුවේ දී එම කාරණය පිලිබඳව අදහස් දක්වමින් නිමල් සිරිපාල ද සිල්වා ඇමතිවරයා කියා සිටියේ, ‘කුඩු සහ එතනෝල් කාරයන්’ කවුදැයි අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්ගෙන් ම විමසන ලෙසයි.