පාප් වහන්සේගේ රුව සහිත පුවරු ඉවත් කළා -නියෝමාල්

Image caption පාප් වහන්සේ දේශපාලන වේදිකාවට ගෙන ගියේ නැහැ -නියෝමාල්

ජනාධිපතිවරණයට ඉලක්ක විය හැකි, පාප් වහන්සේගේ ඡායාරූපය සහිත ප්‍රචාරක පුවරු සියල්ල මේ වන විට ඉවත් කර ඇති බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නියොමාල් පෙරේරා පවසයි.

වතිකානය, ශ්‍රී ලංකා කතෝලික සභාව සහ කතෝලික බැතිමතුන් ඉල්ලා සිටි ආකාරයටම පාප් වහන්සේගේ සංචාරය දේශපාලන වේදිකාවට ගෙන ගොස් නැති බවයි විදේශ කටයුතු නියෝජ්‍ය ඇමතිවරයා කියා සිටියේ.

‘පුවත්පත්වල පළවුණේ මැතිවරණය ප්‍රකාශ කිරීමට පෙර ගත් ඡායාරූප. ඒවා මැතිවරණ කටයුතු ප්‍රකාශ කිරීමට පෙර ප්‍රදර්ශනය කළ පුවරු. මැතිවරණය ඉලක්ක කර ගෙන ගහපු ප්‍රචාරක ඵලක නොවෙයි.’ බීබීසීයේ තිසර රතුවිතාන කළ විමසීමකදී නියෝජ්‍ය අමාත්‍ය නියොමාල් පෙරේරා කීවේය.

වතිකානය

පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා වතිකානයෙන් නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ සිටින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මැතිවරණ ආතතිය අතරවාරයේ සිදු වන පාප් වහන්සේගේ සංචාරය මතභේදයට ලක් වූ නමුත් වතිකානයේ නියෝජිත පිරිස සංවිධාන කටයුතු පිළිබඳව සෑහීමකට පත් වී ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.

මැතිවරණයකින් පසු සාමකාමී වාතාවරණයක් පවත්වා ගෙන යා හැකි බවට වත්මන් පාලනය අතීතයේදී ඔප්පු කර ඇති නිසා පාප් වහන්සේගේ සංචාරයට ජනාධිපතිවරණය බාධාවක් නොවන බවයි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නියොමාල් පෙරේරා කියා සිටියේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර