ඉන්දීය ධීවරයින් මාරාන්තික උපවාසයක

යාපනය බන්ධනාගාරයේ රඳවා සිටින ඉන්දීය ධීවරයින් තිස්අට දෙනෙකු මාරාන්තික උපවාසයක් ආරම්භ කොට ඇතැයි යාපනයේ පිහිටි ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කරයි.

මෙම උපවාසකරුවන් හමුවීමට ගිය යාපනයේ නිලධාරීන් ඔවුන්ට උපවාසය අත්හරින ලෙස කළ ඉල්ලීම අසාර්ථක වීමෙන් පසුව එම නිලධාරීන් ඒ බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වෙත දැනුම් දී තිබේ.

උපවාසකරුවන් පවසන්නේ සිර බාරයට පත්වීමෙන් සිය නිවෙස් නඩත්තු කිරීමට අදායම් නොමැති වීමෙන් සිය පවුල් ඉතා අසරණ තත්ත්වයකට පත්ව ඇති බවයි.

එබැවින් යාපනය සිරගෙය තුළ මියගිය ද තමන්ගේ උපවාසය අත් නොහරින බව ඉන්දීය ධීවරයෝ පවසති.

මරණීය දණ්ඩනය පවා හිමි වූ සිරකරුවන් නිදහස් කරද්දී ඉන්දීය ධීවරයින් වන තමන් පමණක් තවදුරටත් සිර බාරයේ තබා ගැනීම දැඩි අසාධාරණයක් බවයි සිරකරුවන් පවසන්නේ.

එම අසාධාරණයට එරෙහිව මාරාන්තික උපවාසය දියත් කළ බව පවසන එම ධීවරයින් තිස් අට දෙනා ඉල්ලා සිටින්නේ තමන් වහාම නිදහස් කරන ලෙසයි.

ධීවරයින්ගේ උපවාසය පිළිබඳ ධීවර අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ඩී.එම්.එස්.දිසානායකගෙන් විමසූ විට ඔහු කියා සිටියේ නීතිමය තත්ත්වයක් මත අත් අඩංගුවට ගත් පිරිසක් උපවාසය කළ පමණින් නිදහස් කිරීමට නොහැකි බවයි.

දැනටමත් මේ පිරිස නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව කී ලේකම්වරයා තවදුරටත් කියා සිටියේ ඉන්දීය අත් අඩංගුවේ සිටින ශ්‍රී ලාංකික ධීවරයින් 80 ක් සහ යාත්‍රා 15 ක් පමණ හැකි ඉක්මනින් නිදහස් කිරීමට ද කටයුතු යොදමින් සිටින බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර