දිවියෙන් සමුගත් මහාචාර්ය තිස්ස කාරියවසම්

Image copyright sjp.ac.lk

මහාචාර්ය තිස්ස කාරියවසම් අභාවප්‍රාප්ත වීම සම්බන්ධයෙන් බොහෝ විද්‍යාර්ථීහු ඔවුන්ගේ ශෝකය පළ කරති.

මිය යන විට හැත්තෑ දෙහැවිරිදි වියේ පසු වූ මහාචාර්ය තිස්ස කාරියවසම් සිංහල භාෂාව ,සාහිත්‍යය සහ නාට්‍ය කලාව වෙනුවෙන් විශිෂ්ට කාර්යභාරයක් ඉටු කළ විද්වතෙකි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ආරම්භ කරනු ලැබීමෙන් අනතුරුව මුල් යුගයේ පටන් ම එහි සිංහල අංශයේ සේවයට එක්‌ වූ මහාචාර්යවරයා එම සරසවියෙන් බිහි වූ බොහෝ විද්වතුන්ට ශාස්ත්‍ර ඥානය ප්‍රදානය කළ ගුරුවරයකු හැටියට සම්භාවනාවට ලක් වෙයි.

දේශකයකු හැටියට විශිෂ්ට කාර්යභාරයක් ඉටු කළ මහාචාර්ය තිස්ස කාරියවසම් සිසුන්ට ගුරුවරයකු පමණක් නොව පියකු මට්ටමින් කටයුතු කළ සැබෑ මිනිසකු වූ බවයි, බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවක දී මහාචාර්ය සුනිල් ආරියරත්න කියා සිටියේ.

‘ඔහුගේ විශිෂ්ට මෙහෙවරක් වුනේ සිංහල නාට්‍ය කලාව පෝෂණය කිරීමට ඉටු කරන ලද සේවයයි. මහාචාර්ය සරච්චන්ද්‍ර ‘සිංහල ගැමි නාටකය’ ලියා නතර කළ තැනින් මහාචාර්ය කාරියවසම් පටන් ගත්තා. ඔහු දෙවැනි වන්නේ සරච්චන්ද්‍රට පමණයි’ මහාචාර්ය සුනිල් ආරියරත්න පවසයි.

සරච්චන්ද්‍ර නතර කළ තැනින්

‘සිරිසඟබෝ’ නෘත්‍යය වේදිකාවට ගෙන ආ මහාචාර්ය තිස්ස කාරියවසම් විසින් පරිවර්තනය කරන ලද නාට්‍ය කීපයක් ද වේදිකාව මත රඟ දක්වා ඇත.

මහාචාර්ය කාරියවසම් මෙයින් සති දෙකකට පෙර ශ්‍රී ලංකාවේ නාට්‍ය ශාලා ඉතිහාසය අළලා කෘති දෙකක් ප්‍රකාශයට පත් කළ බවයි මහාචාර්ය සුනිල් ආරියරත්න සිහිපත් කළේ.

‘එම කෘති මගින් ඔහු අතීතයේ පොල් අතු මඩුවේ පටන් අද නෙලුම් පොකුණ තෙක් ශ්‍රී ලංකාවේ නාට්‍ය ශාලා ඉතිහාසය වර්තමාන පරපුරට දායාද කරනවා’ මහාචාර්ය සුනිල් ආරියරත්න පවසයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යනය නංවාලීමට මෙන් ම එහි ලේඛකත්ව සහ සන්නිවේදන පාඨ මාලාව වෙනුවෙන් ද අභාවප්‍රාප්ත මහාචාර්යවරයා ඉටු කර ඇත්තේ විශාල කාර්ය භාරයකි.

නවකතා කීපයක් ද රචනා කළ මහාචාර්ය තිස්ස කාරියවසම් ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා හැටියට ද ජාතික පුස්තකාල සේවා මණ්ඩලයේ ප්‍රධානියා හැටියට ද කටයුතු කර ඇත.