ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

‘රජයේ මාධ්‍ය ගෞරවනීයද’?-ගාමිණී වියන්ගොඩ

ජන මාධ්‍ය ආයතන අපක්ෂපාතී වාර්තාකරණයේ නිරත වෙන්නේ නම් කරුණු සැලකිල්ලට ගෙන තීරණ ගැනීමට තරම් ශ්‍රී ලංකාවේ ජනතාව බුද්ධිමත් තත්වයක සිටින බව සම්මානනීය ලේඛක ,සමාජ දේශපාලන විශ්ලේෂක ගාමිණී වියන්ගොඩ පෙන්වා දෙයි.

ඔහු එම අදහස පළ කළේ බීබීසී කොළඹ වාර්තාකරු අශාම් අමීන් සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී.

අපක්ෂපාතී මාධ්‍යකරණය සම්බන්ධයෙන් නිකුත් කෙරෙන අවවාද උපදෙස් පෞද්ගලික මාධ්‍ය කෙරෙහි පමණක් නොව රජයේ මාධ්‍යයට ද එක සේ බලපෑ යුතු බවයි ලේඛක ගාමිණී වියන්ගොඩ පවසන්නේ.

පෞද්ගලික ජන මාධ්‍ය ‘නින්දිත’ ලෙස පක්ෂග්‍රාහී දේශපාලන ප්‍රචාරක කටයුතු වල නිරත වෙමින් සිටින බවට ජනමාධ්‍ය ඇමතිවරයා පසුගිය දා කළ චෝදනාව සම්බන්ධයෙන් බීබීසිය ලේඛක ගාමිණී වියන්ගොඩගෙන් විමසීමක් කළ විට, ශ්‍රී ලංකාවේ රාජ්‍ය මාධ්‍ය ආයතන වල පක්ෂග්‍රාහී මාධ්‍ය කරණය ‘ගෞරවනීය’ එකක් දැයි ඔහු පෙරළා ප්‍රශ්න කළේය.

‘ලේක්හවුස් කියන්නේ ජනතා ආයතනයක්. සියලු ලේක්හවුස් පුවත්පත්, මෙන් ම ජාතික රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනිය සහමුලින්ම මහින්ද රාජපක්ෂ පවුල සහ පවතින ඒකාධිපති පාලනය පවත්වා ගැනීම සඳහා යොදා ගන්නවා’ ගාමිණී වියන්ගොඩ පෙන්වා දෙයි.

එවැනි තත්වයක පසු වෙන ආණ්ඩුව පෞද්ගලික නාලිකා මගින් සීයට සීයක අපක්ෂපාතී භාවයක් බලාපොරොත්තු වෙන්නේ කෙසේදැයි ගාමිණී වියන්ගොඩ ජනමාධ්‍ය ඇමතිවරයාගෙන් ප්‍රශ්න කරයි.

‘දෙරණ’ ප්‍රශ්නය

දෙරණ නාලිකාවේ වාද පිටිය වැඩ සටහන මුල් කර ගෙන මතු ව ඇති අර්බුදය සම්බන්ධයෙන් අදහස් දක්වන ලේඛක ගාමිණී වියන්ගොඩ, එවැනි වැඩ සටහන් වල දී අසන්නන්ට දුරකතනය මගින් සම්බන්ධ වීමට අවස්ථාව දීම විශේෂ ලක්ෂණයක් බවයි පෙන්වා දෙන්නේ.

‘එවැනි වැඩසටහන්වල දී දුරකථන අමතන්නන්ට අවස්ථාවක් දෙනවා. අර්බුදයක් මතු වූ වැඩ සටහනේ දී සිදු වුනෙත් ඒ ආකාරයට ප්‍රශ්නයක් මතු කිරීම. එම අමතන්නා කවුරුවත් නමින් සඳහන් කළේ නැහැ. නමුත් සාකච්ඡාවට සහභාගී වූ පුද්ගලයෙක් තොප්පිය දා ගත්තා’ ගාමිණී වියන්ගොඩ පවසයි.

එම සිද්ධියත් රාජ්‍ය මාධ්‍ය මර්දනයේ කොටසක් බවයි ඔහුගේ අදහස වන්නේ.

යම්කිසි පුද්ගලයකුට චෝදනාවක් කිරීම සඳහා අධිකරණය හෝ වෙනත් විනිශ්චය සභාවක තීන්දුව ප්‍රකාශයට පත් කෙරෙන තෙක් බලා සිටීමේ නියමයක් නොමැති බවත් ලේඛක ගාමිණී වියන්ගොඩ කියා සිටියි.