ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

එප්පාවල වීදි ප්‍රසංගයකට ප්‍රහාරයක්

අනුරාධපුර එප්පාවල පැවති වීදි විරෝධතා කලා ප්‍රසංගයකට ප්‍රහාරයක් එල්ල විය.

සිකුරාදා (05 ) මධ්‍යාහ්නයෙහි එල්ල කෙරුණ ප්‍රහාරයෙන් තිදෙනෙකු තුවාල ලබා සිටිති.

වීදි ප්‍රසංගයට සහභාගී වූ ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර සහ වීදියේ විරෝධය වැඩසටහනේ සිවිල් ක්‍රියාධරයකු වන සමන්ත ඈපා ඔවුන්ගේ භාණ්ඩ වාහනයකට පටවන අවස්ථාවේයි ප්‍රහාරය එල්ල කෙරුණේ.

සාමය සමගිය වෙනුවෙන් වසර ගණනාවක් පෙනී සිටි තමාට මෙවැනි ප්‍රහාරයක් එල්ල කෙරුණ පළමු අවස්ථාව මෙය යයි ප්‍රකට ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර පවසයි.

‘අපේ රජ්ජුරුවන්ට බණින්න එපා’ කියමින් කණ්ඩායමක් අපට පහර දුන්නා’ ජයතිලක බණ්ඩාර වැඩි දුරටත් සඳහන් කරයි.

රජ්ජුරුවන්ට බණින්න එපා

එහෙත් කොපමණ බාධා පැමිණියත් තම අරමුණ වෙනුවෙන් සටන් කරන බව කියා සිටින ජයතිලක බණ්ඩාර තමන් මරා දැමුවත් මේ සටන නොනවතින බවයි අවධාරණයෙන් පවසන්නේ.

ප්‍රහාරය වීඩියෝ ගත කරමින් සිටි එප්පාවල ප්‍රාදේශීය මාධ්‍යවේදී තිසර සෝමරත්න ප්‍රහාරයට ලක් වූ තවත් තැනැත්තෙකි.

ප්‍රහාරකයන් තම වීඩියෝ කැමරාවටද හානි සිදු කළ බව බව කියා සිටි මාධ්‍යවේදී තිසර සෝමරත්න පහර දුන් පුද්ගලයන් අඳුනා ගත් බව පවසයි.

එප්පාවල ප්‍රහාරය සම්බන්ධයෙන් දෙපාර්ශවයෙන් ම පැමිණිලි ලැබී ඇති බව කියන පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය තවමත් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැති බවයි පවසන්නේ.