ආණ්ඩුව ආගම් සම්බන්ධයෙන් 'දෙබිඩි පිළිවෙතක'

වත්මන් ආණ්ඩුව ආගම් සම්බන්ධයෙන් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව හිටපු බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය එම් කේ ඒ ඩී එස් ගුණවර්ධන පවසයි.

ආණ්ඩුවෙන් ඉවත් වූ හිටපු බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය එම් කේ ඒ ඩී එස් ගුණවර්ධන ඒ බව කියා සිටියේ මෛත්‍රිපාල සිරිසේන විපක්ෂයේ පොදු අපේක්ෂකවරයාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයක් කන්තලේ නගරයේ විවෘත කරමින්.

ආණ්ඩුව එක් අතකින් මුස්ලිම් ජනතාව සනසවමින් සිටින අතරතුර අනෙක් අතින් ඇතැම් ආගමික සංවිධාන යොදා ගෙන මුස්ලිම් ජාතිකයන්ට හිංසා කරන බවටත් හිටපු බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍යවරයා චෝදනා කරයි.

ජිනිවා නුවර පැවති එක්සත් ජාතීන්ගේ සම්මේලනවලදී ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය ලබා දී ජනාධිපතිවරයා ආරක්ෂා කළේ මුස්ලිම් රාජ්‍යයන් බවත් එම් කේ ඒ ඩී එස් ගුණවර්ධන හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ආගමික සහජීවනයක් නොමැති රටක නිදහස හෝ සාමය නොපවතින බවද හිටපු බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය එම් කේ ඒ ඩී එස් ගුණවර්ධන වැඩි දුරටත් කියා සිටියේය.