ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

දේශපාලනඥයාගෙන් පොලිසිය බේරා ගැනීමට සංවිධානයක්

දේශපාලනඥයින්ගෙන් පීඩාවට ලක් වන පොලිස් නිලධාරීන්ට පිහිට වීම සඳහා අන්තර්ජාතික සංවිධානයක් පිහිටුවා ගත් බව හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශකයෙක් පවසයි.

දේශපාලනඥයින්ගෙන් අසාධාරණයට ලක් වන පොලිස් නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටීමටත් ඔවුන්ට ආරක්ෂාව සැපයීමටත් එම සංවිධානය සහතික වන බවයි එහි සභාපති හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රශාන්ත ජයකොඩි කියා සිටියේ.

‘අපේ සංවිධානයේ ප්‍රධානතම අරමුණ තමයි ශ්‍රී ලංකා පොලිසිය නිර්දේශපාලනීකරණය කිරීම. දේශපාලන බලපෑම් වලින් තොරව සැමට එක සමානව නීතිය ක්‍රියාත්මක කරන පොලිසියක් අනාගතයේදී දැකීම තමයි අපේ එකම පරමාර්ථය.’ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රශාන්ත ජයකොඩි පවසයි. හඬ පටයට සවන් දෙන්න.

දේශපාලනඥයෙකුට දඩ ලියූ නිලධාරියා

මෑතකදී දක්ෂිණ අධිවේගී මාර්ගයේදී දේශපාලනඥයෙකුට දඩ පත්‍රිකාවක් නිකුත් කළ පොලිස් නිලධාරියාට සිදු වූ තාඩන පීඩන වලදී එම නිලධාරියා වෙනුවෙන්ද මෙම සංවිධානය පෙනී සිටි බවයි බීබීසීයේ තිසර රතුවිතාන කළ විමසීමකදී ඔහු තවදුරටත් කියා සිටියේ.

Image copyright Youtube
Image caption හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රශාන්ත ජයකොඩි

පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කර යම් යම් හේතු නිසා විදේශ ගත වී ලොව පුරා විසිරී සිටින හිටපු පොලිස් නිලධාරීන් එක් වී පිහිටුවා ගෙන ඇති මෙම සංවිධානය ‘ශ්‍රී ලංකා පොලිසිය දේශපාලනයෙන් මුදා ගැනීමේ අන්තර් ජාතික සංවිධානය’ නමින් හැඳින්වෙයි.