ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

හෙට මම ලෝකේ ඉන්න නරකම කාන්තාව වේවි - හිරුණිකා

රට තුළ කඩා වැටී ඇති නීතිය සහ යහපාලනය නැවත ස්ථාපිත කිරීමේ අරමුණින් විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේනට සහාය ලබා දීමට තීරණය කළ බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.

සඳුදා කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඇය කියා සිටියේ රටේ ජනතාවගේ ශුභ සිද්ධියට හේතු වන පොදු කරණා සහ තම පියා, හිටපු ජනාධිපති උපදේශක භාරත ලක්ෂ්මන් ඝාතනය සම්බන්ධයෙන් යුක්තිය ඉටු නොවීම යන කරුණු මුල් කර ගනිමින් මෙවැනි තීරණයක් ගත් බවයි.

‘හැමෝම මගෙන් අහනවා ඇයි මෙච්චර ප්‍රශ්න තියෙනවා නම් ඇයි ඒ කාලේ ඉදල සටන් කළේ නැත්තේ කියලා. කරන්න තිබ්බා අපිට හොද චරිතයක් ඉස්සරහට ඇවිල්ලා හිටියනම්. මොකද මම පොඩි චරිතයක්. මම එලියට ඇවිල්ලා කෑ ගහලා ඉන්න වෙන්නේ තනිවම. නමුත් දැන් මේ රටේ හැමෝම ආදරේ කරන හොද විනීත චරිතවත් පුද්ගලයෙකු වන මෛත්‍රිපාල සිරිසේන ඉස්සරහට ඇවිල්ලා තියෙනවා’ යනුවෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පැවසුවාය.

බොහෝ අය 'කලකිරීමෙන්'

රට තුළ ඇති දූෂණය, වංචාව හා මැරකම් අවසන් කර රට තුළ යහපාලනය ස්ථාපිත කිරීමට මෛත්‍රිපාල සිරිසේනට හැකි බවත් ඇය සඳහන් කළාය.

හෙට සිට ආණ්ඩුවේ නායකයන්ට තමා සහ තම පියා ලෝකයේ සිටින ‘නරකම’ කාන්තාව හා පුද්ගලයා බවට පත් විය හැකි බව පවසන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඒ කිසිදු දෙයකින් තමන් පසු නොබසින බවයි කියා සිටියේ.

ආණ්ඩු පක්ෂයේ බොහෝ පිරිස් වර්තමාන පාලනය පිළිබඳ කනගාටුවෙන් හා කලකිරීමෙන් සිටින බවද ඇය පැවසුවාය.

ඉදිරියේදී ආණ්ඩු පක්ෂයේ තවත් පිරිස් විපක්ෂය හා එක් වනු ඇති බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වූ බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර බලාපොරොත්තු පල කරයි.