ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අරලිය ගහ මන්දිරයේ අලුත් මුහුණු

අද (08) ජනාධිපතිවරණ නාම යෝජනා භාර දෙනු ලැබීමෙන් අනතුරුව ප්‍රකාශයක් කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ ‘එක ලේකම්වරයකු යන විට තවත් ලේකම්වරයකු ගැනීම මේ රාජපක්ෂට කජ්ජක් නොවන’ බවයි කියා සිටියේ.

එක්සත් ජාතික පක්ෂ නායකත්වයට සිය දීර්ඝ ඉල්ලා අස්වීමේ ලිපිය භාර දීමෙන් අනතුරුව හිටපු මහලේකම් තිස්ස අත්තනායක ජනාධිපතිවරයාට එකතු වුණේ එම ප්‍රකාශය සමඟයි.

තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පදවියෙන් ඉවත් වීමේ ලිපිය භාර දෙමින් අරලිය ගහ මන්දිරයට ගොස් ජනාධිපතිවරයාට එක් වීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කියා සිටියේ එය කෙටි දුර බලා ගනු ලැබ ඇති අදූරදර්ශී තීරණයක් වන බවයි.

එක්සත් ජාතික පක්ෂයේ නව මහ ලේකම් පදවිය පැවරුනේ කබීර් හෂීම් මන්ත්‍රීවරයා වෙතයි.

මේ අතර ජනරාල් සරත් ෆොන්සේකා අද තවත් අභියෝගයකට මුහුණ දුන්නේ ඔහුගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නියෝජ්‍ය නායක ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා ආණ්ඩුවට එකතු වීමත් සමඟයි.

රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් සිතා තීරණ ගත යුතු මොහොතක ඇතැම් දේශපාලකයන් තමන් ගැන සිතා එවැනි පියවර ගනු ලබන බවයි, ජනරාල් ෆොන්සේකා සිය ප්‍රතිචාරය පළ කරමින් සඳහන් කළේ.

තිස්ස අත්තනායක මන්ත්‍රීවරයාට අනතුරුව අරලිය ගහ මන්දිරයට ගිය ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයාත් බුලත් හුරුල්ලක් පිලිගන්වමින් ජනාධිපතිවරයාට එක් විය.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි චන්ද්‍රානි බණ්ඩාර ආණ්ඩු පක්ෂයට එකතු වෙන බවට මාධ්‍ය මගින් පුරෝකතන ඉදිරිපත් වුනත් මන්ත්‍රීවරිය මාධ්‍යහමුවක දී කියා සිටියේ තමා කිසි දිනක පක්ෂය හැරදා නොයන බවයි.