ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මහින්දට එරෙහිව නාමල් රාජපක්ෂ ජනපති සටනට

ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් අතරින් ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට අමතරව අපේ ජාතික පෙරමුණෙන් ඉදිරිපත් වන නීතිඥ නාමල් රාජපක්ෂ වෙත ප්‍රධාන අවධානයක් යොමු වෙමින් පවතී.

රට තුළ වර්තමානයේ පවතින යහපාලනය පිළිබඳ ගැටළු, අධිකරණයේ ස්වාධීනත්වය සහ මාධ්‍ය මර්ධනය වැනි කරුණු ජනතාව අතරට ගෙන යාමේ අරමුණින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කළ බව, බිබිසි යේ කොළඹ වාර්තාකරු අසාම් අමින් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේය.

වැලිවේරිය, තුන්නාන, අළුත්ගම වැනි සිදුවීම්වලට මුහුණ දුන් ජනතාව වෙනුවෙන් තමන් දිගින් දිගටම පෙනී සිටි බව පැවසූ නීතිඥ නාමල් රාජපක්ෂ, රටේ අධිකරණ පද්ධතිය හැඳින්වූයේ 'මහින්දාධිකරණය' ලෙසින්.

ජනාධිපති පුත් නාමල් රාජපක්ෂ සහ ඔහුගේ නම සමාන වීම පදනම් කරගෙන ඡන්දදායකයන් මුලා කිරීමේ අරමුණින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ බවට එල්ල වන චෝදනාව ඔහු ප්‍රතික්ෂේප කළේය.

කෙසේ නමුත් ජන්ද පත්‍රිකාවේ මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ නම් දකින කිසිවකු ඒ පිළිබඳව මුලාවිය හැකි නේදැයි විමසූ විට, සන්ධාන ආණ්ඩුව පවසන ආකාරයට ශ්‍රී ලංකාවේ වෙසෙන්නේ බුද්ධිමත් ජනතාවක් බැවින් ජනතාව එසේ මුලා නොවනු ඇතැයි විශ්වාස කරන බව අපේ ජාතික පෙරමුණේ අපේක්ෂකයා සඳහන් කළේය.