රට පුරා මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා

Image caption ප්‍රහාරයට ලක් වූ පල්ලේ තලවින්න හෝටලය

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සහභාගී වූ රැස්වීමක් පැවැත්වුන මහනුවර පල්ලේතලවින්න ප්‍රදේශයේ හෝටලයක‍ට ප්‍රචණ්ඩ ප්‍රහාරයක් එල්ල කොට ඇත.

හිටපු ජනාධිපතිවරියගේ රැස්වීම අවසන් වීමෙන් පසුව ඩිෆෙන්ඩර් රථයකින් පැමිණි පිරිසක් එම හෝටලයට පහර දී ඇති බවයි ‍කැෆේ සංවිධානය පවසන්නේ.

ප්‍රහාරයෙන් හෝටලයේ කාමර විසි එකක ජනේලවලට හානි සිදු ව ඇත.

මහනුවර පොදු වෙළදපොළ ඉදිරිපිට පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට ආධාර පිණිස ඊයේ (09)පැවති රැස්වීමට සහභාගි වී නිවෙස් බලා යමින් සිටි පිරිසකට කටුගස්තොට මහ පාලම අසලදී කැබ් රථයකින් පැමිණි පිරිසක් ප්‍රහාරයක් එල්ල කර ඇති බවක් ද වාර්තා වෙයි.

එම ප්‍රහාරයෙන් තුවාල ලද අඹතැන්න ප්‍රදේශයේ පදිංචි කරුවන් හතර දෙනෙක් කටුගස්තොට රෝහලට ඇතුළත් කර ඇත.

මහනුවර රැස්වීමෙන් අනතුරුව

ඉහත කී රැස්වීමට සහභාගී වී ලංගම බස් රථයකින් ආපසු යමින් සිටි පිරිසකට ද ප්‍රහාරයක් එල්ල වී කොට ඇත.

මේ අතර මහනුවර වැලිගල්ල එජනිස මැතිවරණ කාර්යාලයේ දී සන්ධාන ආධාරකරුවෙකුට ප්‍රහාරයක් එල්ල කොට ඇති බවක් ද වාර්තා වෙයි.

ඊයේ (09)පස්වරුවේ සිදු කෙරුණ එම ප්‍රහාරය එම කාර්යාලයේම අයකු විසින් සිදු කර ඇති බවයි කැෆේ මැතිවරණ නිරීක්ෂණ වාර්තාවක දැක්වෙන්නේ.

තුවාල ලැබූ පුද්ගලයා මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබයි.

ගිනි අවි ප්‍රහාර

ගිණි අවි යොදා ගනිමින් එල්ල කරන ලද ප්‍රහාර ද ඇතුළුව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් හැටකට ආසන්න සංඛ්‍යාවක් පිළිබඳව කැෆේ සංවිධානය වාර්තා කරයි.

ජනාධිපතිවරණයට නාම යෝජනා භාර ගැනීමෙන් පසුවත් තවමත් දිවයිනේ කිසිදු ප්‍රදේශයක බැනර්, කටවුට් ඉවත් කිරීමක් සිදු වී නොමැති බව ‍කැෆේ සංවිධානය පෙන්වා දෙයි.

ගම්පහ,මහනුවර,පුත්තලම, හලාවත, ගාල්ල, මාතර, කුරුණෑගල, බදුල්ල, අනුරාධපුර, කළුතර, මතුගම සහ රත්නපුර නගරවල විශාල වශයෙන් නීති විරෝධී ප්‍රචාරක දැන්වීම් හා පුවරු දැකිය හැකි බවයි ‍කැෆේ සංවිධානය ප්‍රකාශ කරන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර