ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

නියෝජ්‍ය ඇමතිවරුන් සමඟ පළාත් නියෝජිතයෝ 38 ක් මෛත්‍රීට

කඳුරට වතුකරයේ වැවිලි කම්කරු ජනතාව නියෝජනය කරන ආණ්ඩුවේ දෙමළ දේශපාලන නායකයෝ දෙදෙනෙක් රජයෙන් ඉවත් වෙති.

ජාතික භාෂා සහ ජාතික ඒකාග්‍රතා නියෝජ්‍ය අමාත්‍ය පී.දිගම්බරම් සහ උද්භිද උද්‍යාන සහ විනෝද කටයුතු භාර නියෝජ්‍ය ඇමති වී.රාධක්‍රිෂ්ණන් මේ දෙදෙනායි.

ඉදිරි ජනාධිපතිවරණයේ දී තමන් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට සහයෝගය ලබා දෙන බව අද, බදාදා කොළඹ විපක්ෂ ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක දී නිවේදනය කළහ.

තමන් සමග පළාත් සභා මන්ත්‍රීවරුන් 4 දෙනෙකුත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීන් 34 දෙනකුත් ආණ්ඩුවෙන් ඉවත්වු බව අද, බදාදා කොළඹ විපක්ෂ ලේකම් කාර්යාලයේ මාධ්‍ය හමුවක දී පී.දිගම්බරම් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

ඉදිරි ජනාධිපතිවරණයේ දී වතුකරයේ දෙමළ ජනතාවගේ සම්පුර්ණ සහය මෛත්‍රිපාල සිරිසේන පොදු අපේක්ෂකයාට ලබා දීමට කැපවී කටයුතු කරන බව පැවසූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පී.දිගම්බරම්, තම පක්ෂය, රාධක්‍රිෂ්ණන් මන්ත්‍රීවරයාගේ පක්ෂය හා මනෝ ගනේෂන් හිටපු මන්ත්‍රීවරයාගේ පක්ෂයට වතුකරයේ ස්ථිර ඡන්ද 150,000 ක් ඇති බවයි කියා සිටියේ.

විශිෂ්ට ජයග්‍රහණයක්

"අපි එකතු වෙලා මේ ඡන්දය ලක්ෂ 3 දක්වා වැඩි කරගන්න කටයුතු කර පොදු අපේක්ෂකයාට නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා දීමට කටයුතු කරනවා,"ඔහු තවදුරටත් පැවසුවේය.

වතුකරයේ ජනතාවගේ නිවාස ප්‍රශ්නය විසඳීමට වත්මන් ආණ්ඩුව අපොහොසත්වී ඇති බව පැවසූ පී.දිගම්බරම් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ නව ආණ්ඩුවකදී එම ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලබා දීමට එකඟවූ බවයි ප්‍රකාශ කළේ.

වතුකරයේ ජනතාවගේ නිවාස ප්‍රශ්නයට විසඳුමක් ලබා දීමට දුන් පොරොන්දුව අනුව පොදු අපේක්ෂකයාට සහය ලබා දීමට තීරණය කළ බවයි උද්භිද උද්‍යාන සහ විනෝද කටයුතු භාර හිටපු නියෝජ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කළ වී .රාධක්‍රිෂ්ණන් පැවසුවේ.

මෙම මාධ්‍ය හමුවට එක්වූ ඌව පළාත් සභාවේ විපක්ෂ නායක හරින් ප්‍රනාන්දු පැවසුවේ මෙම නව තත්වයත් සමග ඌව පළාත් සභාවේ බලය ලබා ගැනීම පිළිබඳව බලාපොරොත්තු තබා ගත හැකි බවයි