ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මහින්ද ක්‍රිකට් දේශපාලනීකරණය කළා -අර්ජුන

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දේශපාලන ප්‍රචාරක කටයුතු සදහා එක් වන ලෙස වර්තමාන ක්‍රිකට් ක්‍රීඩකයන්ට බලපෑම් එල්ල වෙමින් පවතින බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක හා පොදු විපක්ෂයේ අර්ජුන රණතුංග මන්ත්‍රීවරයා පවසයි.

මෙම ප්‍රචාරණ දැන්වීම්වලට සහභාගිවීමට ක්‍රීඩකයන් ප්‍රතික්ෂේප කර ඇති බව පැවසූ අර්ජුණ රණතුංග මන්ත්‍රීවරයා එසේ තිබියදීත් ඔවුන්ට බලපෑම් එල්ලකිරීම හෙළා දකින බවයි පැවසුවේ.

ක්‍රීඩකයන් මෙවන් දේවලට යොදා ගෙන ඔවුන්ට පසුව ලාබ ප්‍රයෝජන ලබා දීම පසුගිය කාලයේදී ද දක්නට ලැබුණු බව ඔහු බිබිසියට පැවසුවේය.

තේරීම් කමිටු සාමාජික හෂාන් තිලකරත්න ජනාධිපතිවරයාට සහය පළ කර ප්‍රසිද්ධ දේශපාලනයට පැමිණීම අර්ජුණ රණතුංග මන්ත්‍රීවරයා දැඩි ලෙස විවේචනය කළ අතර දේශපාලනයට පැමිණීමට අවශ්‍ය නම් ඔහු තේරීම් කමිටුවෙන් ඉල්ලා අස් විය යුතුයි බවයි පැවසුවේ.

දේශපාලනීකරණය

"හෂාන් කියන්නේ ක්‍රිකට් ආයතනයෙන් මුදලක් ලබන කෙනෙක්, අනික රටේම ක්‍රීඩකයන්ගේ වගකීම තිබෙන පුද්ගලයෝ මේගොල්ලෝ, දේශපාලනය කරන්න ඕනේ නම් ඔහු තේරීම් කමිටුවෙන් අයින් වෙන්න ඕනේ"

ක්‍රිකට් ආයතනයේ නිලධාරින්ද සහභාගිවූ මාධ්‍ය සාකච්චාවක තේරීම් කමිටු නිලධාරියෙකු වන හෂාන් තිලකරත්න ජනාධිපතිට සහයදීම ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලනීකරණය වීමේ තවත් උදාහරණයක් පමණක් බවයි අර්ජුන රණතුංග පැවසුවේ.

"තමන්ගේ නම දාන්න ක්‍රීඩාංගන හදලා, ක්‍රිකට් ආයතනය බංකොලොත් කළා ,අපි දැක්ක ඇමැතිවරයකුගේ පුතෙකු ලකුණු නැතිව සංචිත වල හිටියා, මේවා දේශපාලනීකරණය නොවෙයිද?,"ඔහු ප්‍රශ්න කරන්නේය.

90 දශකයේ තරඟ පාවාදීම් සිදුවු බවට හෂාන් තිලකරත්න සිදු කිරීමට උත්සාහ කළ හෙලිදරව්ව්ද නවතා දැමුනේ ඔහු හා ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර ඇතිවූ හමුවිමකින් පසුව බවද අර්ජුන රණතුංග මන්ත්‍රීවරයා පැවසුවේය.