ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

විපක්ෂ සන්ධානයට පදනම ආණ්ඩු පක්ෂයෙන්

විපක්ෂ සන්ධානය ගොඩ නැගීම එක දවසකින්,මාසයකින් නොව දිගු කලක දේශපාලන ව්‍යායාමයක ප්‍රතිඵලයක් යයි පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග පවසයි.

එම උත්සාහයට ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයන්ගේ ද සහයෝගය ලැබෙන බව පෙනී ගිය බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයන් සමඟ සිදු කළ කතිකා හරහා නව දේශපාලන සන්ධානයට පදනම වැටුණ බවත් අර්ජුන රණතුංග මන්ත්‍රීවරයා කියා සිටියි.

‘අපි ගමට ගියාම ගමේ මිනිස්සු කියන්න පටන් ගත්තා - මේ දූෂණ හොරකම් වංචා සහ ඝාතන වැනි දේ නතර කළ යුතු බව. දැන් ඒකට කාලය ඇවිත් බවයි මිනිස්සු කියන්නේ. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුත් පාර්ලිමේන්තු ආලින්දය වැනි තැන්වල දී කිව්වා - දැන් මේක අවසානයකට ගේන්න අවශ්‍යයි කියල’ අර්ජුන රණතුංග පවසයි.

අලුත් භීතියක්

විපක්ෂ සන්ධානය යටතේ රට අස්ථාවර කෙරෙන බවට ආණ්ඩු පක්ෂය එල්ල කරන චෝදනාවට පිළිතුරු දෙමින් අර්ජුන රණතුංග මන්ත්‍රීවරයා කියා සිටියේ රට අස්ථාවර කළේ පවතින ආණ්ඩුව වන බවයි.

‘යුද්ධය නිම වුනත් අපට අලුත් භයක් තියෙනවා. දුරකතනයෙන් හෝ නිදහසේ කතා කරන්න නැහැ. ටැප් කරලා. ගෙවල් දෙකක දෙන්නෙක් ආණ්ඩුවට විරුද්ධව කතා කළොත් ඒකත් ප්‍රශ්නයක්. රහස් පොලිසිය ගෙවල්වලට එනවා’ මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

යුද බියට වඩා ජීවත් වීම පිළිබඳ බියක් අද පවතින බවයි ඔහු කියා සිටින්නේ.

එම තත්වයේ වෙනසක් සිදු කරනු ලැබීම තම උවමනාව වූ බවත් අර්ජුන රණතුංග කියා සිටියි.

විපක්ෂයේ සිට පිල් මාරු කරමින් ආණ්ඩුවට එක් වෙන්නන් මුදල් හෝ තනතුරු හඹා ගියත් ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරු විපක්ෂයට එක් වෙන්නේ හිස් අතින් බවයි ඔහු පවසන්නේ.

අද අවශ්‍ය කරන්නේ පිරිසිදු ශීලාචාර රටක් නිර්මාණය කිරීම බවත් ඒ සඳහා ලැබී ඇති අන්තිම අවස්ථාව 2015 ජනාධිපතිවරණය බවත් මන්ත්‍රීවරයා කියා සිටී.