ලංකාවත් ගූගල් වීථි දැක්මේ

Image copyright BBC World Service
Image caption ගූගල් වීථි දැක්මේ ලන්ඩන් නගරය දැක්වෙන අයුරු

'ගූගල් ස්ට්‍රීට් විව්'වීථි දර්ශන සඳහා ශ්‍රී ලංකාවේ මාර්ග රූප ගත කරන බව ගූගල් ආයතනය නිවේදනය කරයි.

ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ ඕනෑම ස්ථානයක වටපිටාව අන්තර් ජාලය ඔස්සේ අංශක තුන්සිය හැටක වට දැක්මක් ලෙස බලා ගත හැකි බවයි ගූගල් ආයතනය පවසන්නේ.

ගූගල් ආයතනය ශ්‍රී ලංකාවේ වීථි රූපගත කිරීම සංචාරක කර්මාන්තයේ දියුණුවට මහත් පිටුබලයක් වනු ඇති බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩී එස් ජයවීර ප්‍රකාශ කරයි.

සංචාරකයන්ට පහසුවක්

ශ්‍රී ලංකාවේ ආකර්ශණීය ස්ථාන ඩිජිටල් තාක්ෂණය ඔස්සේ බලා ගැනීමට සැලැස්වීම මගින් වැඩි වැඩියෙන් සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගත හැකි වනු ඇති බවයි ඔහු පවසා තිබුණේ.

විදේශීය සංචාරකයන්ට පමණක් නොව ශ්‍රී ලාංකිකයන්ට ද 'ගූගල් ස්ට්‍රීට් විව්' මගින් තම රටේ ප්‍රදේශ ගැන දැන ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.

ඉතාලියේ පොම්පේ නගරයේ රූප ගූගල් ස්ට්‍රීට් විව් හරහා පළකිරීමෙන් පසු නගරයට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව සියයට විසි පහකින් වැඩි වී ඇතැයි එහි නගරාධිපති වරයා පැවසු බව ශ්‍රී ලංකා ව්‍යාපෘතිය ආරම්භ කරමින් ගූගල් ආයතනයේ ආසියා පැසිපික් කලාපයේ පොදු ප්‍රතිපත්ති අංශයේ ප්‍රධානී ඈන් ලවින් පෙන්වා දේ.

Image copyright AFP
Image caption කාර් මත සවි කල කැමරා මගින් වීථි ඡායාරූප ගැනීම

ආකර්ශණීය ස්ථාන අන්තර් ජාලය ඔස්සේ නැරඹීමෙන් පසු එම ස්ථාන ස්ථාන පියවි ඇසින් බලා ගැනීමට බොහෝ දෙනා කැමති බවයි විචාරකයෝ පවසන්නේ.

එමෙන්ම වීථි රූප ප්‍රචාරය කිරීමෙන් පසු ආකර්ශණීය ස්ථානය, ඒ අවට පරිසරය, සංචාරකයන්ට ඇති පහසුකම් සහ ගමන් කල යුතු මාර්ගය පිළිබඳ විශ්වාසනීය තොරතුරැ අන්තර් ජාලය ඔස්සේ ලබා ගැනීමට හැකි වීම නිසා සංචාරකයන් උනන්දු කරවන මාධ්‍යයක් බවට ගූගල් වීථි දැක්ම පත් වී ඇතැයි ද වාර්තා වේ.

මේ නිසා සංචාරකයන්ගේ සිත් ඇඳ බැඳ ගත් ස්ථාන අවට ව්‍යාපාර වර්ධනයටත් ගූගල් වීථි දැක්ම ඉවහල් වනු ඇති බවයි විශවාස කරන්නේ.

අංශක 360 ක දසුනක්

Image copyright Getty
Image caption ඡායාරූප ගැනීම සඳහා යොදා කාරයක්

මෝටර් රථ මත සවි කළ කැමරා මගින් වීථි දසුන් ලබා ගැනීමට නියමිත අතර හැම පැත්තකම රූප රාමු මෙම කැමරා මගින් ගෙන ඒවා අංශක 360 ක දසුනක් දක්වන රූප ලෙස සැකසීමට නියමිතයි. මේ සඳහා කැමරා සහිත කාර් තුනක් යොදා තිබෙන බවයි වාර්තා වන්නේ.

ගූගල් වීථි දැක්ම මගින් කිසිවෙකුගේ පුද්ගලිකත්වයට හානි සිදු නොවන බව පවසන ගූගල් ආයතනය, අන්තර් ජාලයේ පළ කෙරෙන රූප රාමු වල මුහුණු සහ රථවාහන නාමපුවරු වැනි සංවේදී දත්ත ඇතුලත් නොවන බවද අවධාරණය කරයි. ශ්‍රී ලංකාව ගූගල් ස්ට්‍රීට් විව් සඳහා රූප ගත කිරීමට රජයේ අනුමැතිය සහ නිසි අවසර ලැබුණු බවත් ගූගල් ආයතනය ප්‍රකාශ කර තිබේ.