ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ජනතාවට ප්‍රශ්න ඇති බව ජනපති පිළිගනී - මෛත්‍රී

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන පුත්තලම දිස්ත්‍රික්කයේ මහවැව පැවති රැළියකදී පැවසුවේ රටේ ජනතාවට ප්‍රශ්න ඇති බව අනුරාධපුර රැස්වීමේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින්ම පිළිගෙන ඇති බවයි.

දූෂණයෙන් හා භීෂණයෙන් තොර රටක් බිහි කරන බව පැවසූ ඔහු, රට අපකීර්තියට පත් කරන වත්මන් විදේශ සේවාව ද ක්‍රමවත් කරන බවද ප්‍රකාශ කළේය.

ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය අතර දූෂිතම පාලනයක් සහිත ආණ්ඩුවක් ලෙස මහින්ද රාජපක්ෂ පාලනය ලෝක වාර්තාවක් පිහිටුවා ඇතැයිද ඔහු කියා සිටියේය.

“මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව අන්ත දූෂිත, අන්ත හොරකම් කරන සම්පුර්ණයෙන්ම ජනතාවගේ වත්කම් සහ දේපල මංකොල්ල කන ආණ්ඩුවක් බවට පත්වෙලා” යයි ඔහු පැවසුවේය.

පවුලේ හිත මිතුරන් විදේශ සේවයට පත් කිරීම නිසා තානාපති සේවාව කඩා වැටී ශ්‍රී ලංකාව ලෝකය ඉදිරියේ කොන් වී ඇති බවයි පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන පවසන්නේ.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිධුරයට පත් වූ පසු ජනතාවගේ ප්‍රශ්න වලට කඩිනම් විසදුම් ලබා දෙන බවයි රැළිය ඇමතූ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ.