ජනපති අපේක්ෂකයන්ට මානව හිමිකම් න්‍යාය පත්‍රයක්

Image copyright president.gov.lk

ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් ආරක්ෂා කරන බවට ප්‍රසිද්ධියේ ප්‍රතිඥා දෙන ලෙස ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් මානව හිමිකම් සංවිධානය සියලු ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගෙන් ඉල්ලීමක් කරයි.

ලබන වසරේ ජනවාරි අට වන දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ජාත්‍යන්තර මානව හිමිකම් නීති සුරකිමින්, විනිවිදභාවය සහ විශ්වසනීයත්වය සුරක්ෂිත වන පරිදි කටයුතු කරන බවට ප්‍රතිඥා දෙන ලෙසත් එම සංවිධානය අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටියි.

‘ශ්‍රී ලංකාවේ ජනපතිවරණ අපේක්ෂකයන්ට මානව හිමිකම් න්‍යාය පත්‍රයක්’ මැයෙන් එම සංවිධානය නිකුත් කළ නිවේදනයේ එම කරුණු ඇතුළත් වේ.

මානව හිමිකම් සහ සිවිල් සංවිධානවලට තම කටයුතු ස්වාධීනව කර ගෙන යෑම සඳහා අවශ්‍ය වාතාවරණය සැලසීමේ වැදගත්කමත් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පෙන්වා දෙයි.

සෑම තරාතිරමකම බල පැවැත්වෙන වරදක් කර දඬුවමින් ගැලවී සිටීමට ඉඩ සැලසෙන මුක්තිය අවසාන කිරීම ඉතා වැදගත් බවයි එම සංවිධානය පවසන්නේ.

මහජන විශ්වාසය

අධිකරණ පද්ධතිය සහ නීති රීති කෙරෙහි මහජන විශ්වාසය නැවත ඇති කිරීමටත් ශ්‍රී ලංකාව හමුවේ ඇති මානව හිමිකම් ගැටලුවලට නිසි පිළියම් යෙදීමටත් එමගින් හැකි වනු ඇති බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය වැඩි දුරටත් කියා සිටියේය.

ප්‍රචණ්ඩත්වය, වාර්ගික සහ ආගම පදනම් කර ගනිමින් සිදු කරනු ලබන හිරිහැර දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකාව තුළ දක්නට ඇති බවත් සංවිධාන නිවේදනයේ සඳහන්.

මානව හිමිකම් සුරැකීමට තබන පියවරක් වශයෙන් ජනාධිපති අපේක්ෂකයින් විසින් ජනතාව ඉදිරියේ ප්‍රතිඥා දිය යුතු කරුණු ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධාන මානව හිමිකම් න්‍යාය පත්‍රයේ දක්වා තිබේ.

දහඅට වන ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීම, පදනම් විරහිතව අත්අඩංගුවට ගැනීම් කළ හැකි ත්‍රස්ත විරෝධී පනත ඉවත් කිරීම, මාධ්‍යවේදීන් හා වෘත්තිකයින් ඇතුළු සිවිල් වැසියන්ට නිදහසේ අදහස් හුවමාරු කිරීමට හැකි වාතාවරණයක් ගොඩ නැගීම, සුළු ජාතීන් සහ සුළු ආගමිකයන් ආරක්ෂා කර ඔවුන්ට සිදු වන වෙනස්කම් අවසානයක් කරා ගෙන ඒම යන කරුණු ඒ අතර ප්‍රධාන වේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර